ලංකාවේ පළමු හා එකම ක්‍රිකට් බැට් නිෂ්පාදකයා සිය සමාගම විකිණීමට යයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ක්‍රිකට් බැට් නිෂ්පාදකයා වන Staunch Manufacturing සමාගම අලෙවි කිරීමට එහි හිමිකරුවා තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව දැනටමත් සිය සමාගම මිලදී ගැනීම සඳහා ආයෝජකයෙකු විමසමින් එහි නිර්මාතෘ සහ හිමිකරු සහන් දික්මාදුගොඩ මහතා සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කර තිබේ.

මෙහිදී එම සමාගම සිය සමස්ත වත්කම්, තොග, සන්නාමය මෙන්ම සියලුම නිෂ්පාදන අමුද්‍රව්‍යයත් අලෙවි කරන බව මෙම දැන්වීම මගින් පවසා සිටියි. ඒ අනුව මෙය ලංකාවේ පළමු සහ එකම ක්‍රිකට් පිති නිෂ්පාදන සමාගම අත්පත් කරගැනීමේ අනගි අවස්ථාවක් බවද දැන්වීමේ සඳහන් වෙයි.

මෙම තීරණය සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා අපි Staunch Manufacturing සමාගමේ හිමිකරු සහන් දික්මාදුගොඩ මහතාගෙන් කරුණු විමසා සිටියෙමු. එහිදී අදහස් දැක්වූ ඒ මහතා පසුගිය වසරේ බලපෑ කොරෝනා වසංගත තත්ත්වය සිය ව්‍යපාර වෙත දැඩිව බලපෑම් එල්ල කළ බව පවසා සිටියේය. ඒ අනුව සමාගම වෙත යම් ආයෝජනයක් හිමිවීම අනිවාර්යය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

 “කොරෝනා නිසා අපේ ව්‍යාපාරය දරුණු ලෙස හානි සිදු වුණා. ඒ නිසා තමයි මේ ව්‍යාපාරයේ සන්නාමයද ඇතුළුව සියලුම වත්කම් අලෙවි කරන්න අපි තීරණය කළේ. පසුගිය මාස කිහිපයේදීම මම මේ සඳහා ආයෝජකයන් සෙව්වා. ඔස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය ආයෝජකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් වුණා. ඒත් විනිමය අනුපාතයේ ගැටලු නිසා එය හරි ගියේ නැහැ. ඒ නිසා තමයි මම සමාගම සම්පූර්ණයෙන්ම අලෙවි කරන්න තීරණය කළේ.” යනුවෙන් පවසා සිටියේය.

කෙසේ වෙතත් නිසි ආයෝජකයෙකු හමුවී සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කර තිබෙන බවත් හෙතෙම මෙහිදී පැවසීය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී සිය නිෂ්පාදන ඉදිරිපත් කිරීමත් සමගින්ම Staunch සන්නාමය පිළිබඳව රට තුළ කතා බහ ඇති විය.

එහිදී මෙම නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බදු සහන ඇතුළු සහන ලබා දීමටත්, සහන පොලී මත ණය ලබා දීමේ හැකියාවත් පිළිබඳව සොයා බලන ලෙසත් අමාත්‍යවරයා එහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

1,2 සහ 3 ශ්‍රේණියේ ඉංග්ලිෂ් විලෝ ලී යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම ක්‍රිකට් පිති දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙතද අලෙවිකරමින් තිබූ බව සහන් දික්මාදුගොඩ මහතා අප සමගින් පැවසීය. ආනයනික මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කරන මෙම ක්‍රිකට් පිති නිෂ්පාදනය හරහා දේශීය ශ්‍රමිකයන් රැසකටම රැකියා අවස්ථාව හිමිව තිබුණි.

එසේම ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉංග්ලිෂ් විලෝ ලී සැපයුමක් සඳහා දැනටමත් කොන්ත්‍රාත්තුවක් වෙත පිවිසීමටද  Staunch Manufacturing සමාගමට අවස්ථාව උදා වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී ආයෝජකයෙකු හමුවී බලධාරීන්ගේ සහයෝගයද ලැබෙන්නේ නම් සිය ව්‍යාපාරය දියුණු කරගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Visits: 290