හේලීස් සෝලාර් බියගම කොකාකෝලා වහල මත සූර්ය පැනල 5000ක් සවි කරයි

හේලීස් සමූහයට අයත් පුනර්ජනනීය බලශක්ති සමාගම වන හේලීස් සෝලාර් සමාගම මගින් බියගම පිහිටි කොකාකෝලා බෙවරේජර්ස් ශ්‍රීලංකා (CCBSL) සමාගම් පරිශ්‍රයේ වහලය මත සූර්ය පැනල පද්ධතියක් සවි කළ බව පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේද හවුල්කාරීත්වය සහිතව සිදු කළ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ සූර්ය පැනල පද්ධතියක් පිහිට වූ තනි ස්ථානයක් බවටද පත්ව තිබේ. කොකාකෝලා බෙවරේජර්ස් ශ්‍රී ලංකා සමාගම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමේ පොරොන්දු අනුව මෙම සූර්ය පැනල ස්ථාපිත කිරීම සිදු කර තිබේ.

මෙහිදී සමස්ත සූර්ය පැනල ව්‍යාපෘතියේ ආයෝජනය රුපියල් මිලියන 200කි. ඒ යටතේ කොකාකෝලා බෙවරේජර්ස් සමාගමේ බෝතල්කරණ පරිශ්‍රයේ වහලයෙන් 80%ක් ආවරණය වන ආකාරයට සූර්ය පැනල 5000ක් සවි කිරීම සිදු කර තිබේ.

මෙම ධාරිතාවත් සමගින්ම කොකාකෝලා බෙවරේජර්ස් ශ්‍රීලංකා සමාගම වෙත වසරකට මෙගාවොට් 2,733ක පුනර්ජනනීය බලශක්තියක් උත්පාදනය කළ හැකි බවත් ඒ හරහා ජාතික පද්ධතිය වෙත මෙගාවොට් 1.9ක විදුලිබලයක් සැපයිය හැකි බවත් පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ක්‍රියාත්මක සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය හරහා මෙම සූර්ය පැනල පද්ධතිය සවි කිරීම සිදු කෙරී ඇත. රට තුළ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කෙරෙන අතරතුරදීම, විදුලිබල උත්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ රටෙහි පරිසර තත්ත්වයන් වැඩිදියුණු කරවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

Visits: 395