LCB ෆිනෑන්ස් කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමේ සූදානමක

මෙරට ක්‍රියාත්මක මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම (LCB Finance) සිය කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සඳහා සූදානමින් සිටින බව නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන LCB ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ කේ.ජී. ලීලානන්ද මහතා මෙම ලැයිස්තුගත කිරීම හරහා එහි කොටස්හිමිකරුවන් වෙත ඉහළ ප්‍රතිලාභ හිමි වෙනු ඇතැයි සඳහන් කර සිටියි.

2016 වසරේ මැයි 16 වැනිදා ගාල්ලේදී පිහිටවුණු LCB ෆිනෑන්ස් සමාගම 2007සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් බවද කියයි. එසේම එය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයෙහි අනුමැතියද හිමි සමාගමකි. 2018 වසරේදී එම සමාගම මගින් City Finance සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම තවදුරටත් පුළුල් විය. අද වනවිට ශාඛා 6ක් හිමි LCB ෆිනෑන්ස් සමාගම සතු පාරිභෝගිකයන් සංඛ්‍යාව 30,000ක් පමණ වන බවත් සඳහන් වෙයි.

සමාගමේ ප්‍රධාන කොටස් හිමිකාරීත්වය ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගම වෙත හිමිව ඇත. එය 87%ක ප්‍රතිශතයකි.

මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙරට මූල්‍ය සමාගම් වෙත ලබා දී ඇති අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ එක් අවස්ථාවක් වන බවත් LCB ෆිනෑන්ස් සමාගම පවසයි.

එසේම හෙට දිනයේ පස්වරු 6.00 ට එම සමාගම ආයෝජක සංසදයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. ගාල්ලේ ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී මෙය සංවිධානය කිරීමට නියමිතව ඇත. වැවිලි කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පොහොර සහ රසායනික පොහොර නිෂ්පාදන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන, ගාල්ල මහ නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සහ එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට්ස් බැංකුවේ සාංගමික උපදේශක ප්‍රධානී නිලේන්ද්‍ර වීරසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වන බවත් පැවසෙයි.

Visits: 577