Facebook Blood Donations සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය අත්වැල් බැඳගනී

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික රුධිර පාරවිලයන සේවාව සහ Facebook විසින් ජනතාවට පහසුවෙන් රුධිරය දන්දීමේ අවශ්‍යතා දැකගත හැකි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ දියත් කළ බව පවසයි. රට තුළ තිබෙන ප්‍රධාන ලේ බැංකු 24 ක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත.  

ආරක්ෂාකාරී සහ තිරසාර රුධිර දායකත්වයක් පවත්වා ගැනීම තුළින් ලොවපුරා මිලියන ගණනක් ජනතාව සිය ජීවිත රැකගනී. නමුත් කොවිඩ්-19 වසංගතය නිසා ජනතාවගේ ලේ දන්දෙන ක්‍රමවේදයන් වෙනස්වී ඇත. සාමාන්‍යයෙන් සිදුවන රුධිරය දන්දීමේ ක්‍රියාවලියක දී හෝ මහමාර්ග අනතුරක්, සංකීර්ණ ශල්‍යකර්මයක් හෝ කොවිඩ් සංකීර්ණතාවක් ආදී වූ හදිසි තත්ත්වයක දී අවශ්‍ය රුධිරය පහසුවෙන් ලබාගත හැකිවීම  අතිශය වැදගත් කාරණයකි. මෙය අරමුණු කරගනිමින් Facebook Blood Donations පහසුකම (feature) ලේ දන්දීමට කැමැත්තෙන් සිටින පුද්ලගයන්ව ලේ බැංකුවෙත සම්බන්ධකර දීමේ කාර්යභාරය ඉටුකරනු ඇත.

සමාජ මාධ්‍ය ජාල නිසා මුලු ලෝකයම වැඩි වැඩියෙන් සහසම්බන්ධ වෙමින් පවතිනවා” යැයි සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. එසේම “ ජනතාවගේ දැනුවත්බව වැඩි කිරීමට සහ රුධිරය දන්දීම පහසු කිරීමට අවශ්‍ය දේවල්වලින් අපේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ඩිජිටල්කරණය කිරීමට Facebook සහ වෙනත් පාර්ශවකරුවන් සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ සෑම පුරවැසියෙකුගේම සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න රුධිරය දන්දීමට කැමති සෑම දෙනෙකුටම මේ සද්කාර්යයට දායකවන ලෙස මම ආරාධනා කරනවා”

සහසබඳතාවයේ සහ ප්‍රජා සමූහිකයේ බලය සමඟ Facebook Blood Donations පහසුකම (feature)  ලොවපුරා ලේ දන්දීම් වර්ධනය කිරීමට සමත්වී තිබේ. මෙහිදී වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයන්ට තමන් ඉන්නා තැනට තිබෙන ළඟම ලේ බැංකුවේ නොටිෆිකේෂන් එවීම සිදුවන අතර එමඟින් ලේ දන්දීමට කැමති අයට එම ලේ බැංකු වෙත ගොස් පහසුවෙන් ලේ දන්දීමේ අවස්ථාව ලැබේ.

Facebook Blood Donations පහසුකම (‍feature) හඳුන්වාදීම සඳහා මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි. මෙම සාකච්ඡාවේ සම්පත්දායක මණ්ඩලය ලෙස විදුලි සං‍දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද  සේනානායක මහතා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත කරුණාපෙම යන මහත්වරුන් ද සහභාගී විය. 

ජාතික රුධිර පාරවිලයන සේවාව පවත්වාගෙන යන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන රුධිර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන්ය.” යැයි ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා මෙම සාකච්ඡාවට සහභාගීවෙමින් පැවසීය. Facebook Blood Donations පහසුකම මඟින් දිවයින පුරා විසිරී සිටින රුධිර පරිත්‍යාගශීලීන් සමඟ සෘජු සබඳතාවයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය අපේ සේවාවට වටිනා වත්කමක් වගේම ‍මේ වසංගත සමයේ දී අපට ඉතාමත් ප්‍රයෝජනවත් අවස්ථාවක්”

ශ්‍රී ලංකාවේ දී දේශීය ආයතන සමඟ එක්වෙමින් විශ්වාසනීය සෞඛ්‍ය තොරතුරු ඔන්ලයින් මාධ්‍ය ඔස්සේ ලබාදීමට Facebook කටයුතු කරයි. මේ මඟින් වැරදි තොරතුරු ව්‍යාප්තිය පාලනයට විශාල සේවාවක් සපයයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට සහයෝගය ලබාදීම මඟින් නිවැරදි සෞඛ්‍ය තොරතුරු කාර්යක්ෂමව රටපුරා ව්‍යාප්ත කිරීම උදෙසා සෞඛ්‍ය නිලධාරීන්ට පුහුණුවීම් ලබාදීමට Facebook පහසුකම් සැපයීය. මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳව අවබෝධය වැඩිකිරීමට ජාතික මානසික සෞඛ්‍යායතනය සමඟ ද Facebook අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි.

අවශ්‍ය වෙලාවට එකිනෙකාට උදව්කර ගන්නා ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා Facebook උත්සාහ කරනවා” යැයි Facebook හි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකාර යසස් විශුද්ධි අබේවික්‍රම මහතා පැවසීය, ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් වැඩි පිරිසක් සෞඛ්‍ය තොරතුරු දැනගැනීමට ඩිජිටල් මාධ්‍ය භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ ආයතන සමඟ වැඩ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ආරක්ෂාකාරී සහ තිරසර ලේ සැපයුමක් ලබාගැනීමට වැඩිපිරිසක් එකතුකර ගැනීමට සහය දීමට ලැබීම  ගැනත් සතුටුවෙනවා.

Facebook Blood Donations විශේෂාංගය හරහා නොටිෆිකේෂන් ලබාගැනීම සඳහා ලොවපුරා මිලියන 85කට වැඩි පිරිසක් එකතුවී සිටියි. ලේ දන් දෙන්නෙක්වීමට වෙත www.facebook.com/donateblood පිවිසෙන්න

Visits: 48