LOLC සහ වැලිබල් සමූහයේ වටිනාකම් ඉහළ යාමෙන් ASPI 8,800 ඉක්මවයි

අද (ජනවාරි 27) දිනයේ ආරම්භයත් සමගින්ම වාර්තා වූ LOLC හොල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියනයක් සම්පූර්ණ කළ තෙවැනි සමාගම බවට පත්වීමේ පුවතත්, වැලිබල් සමූහයට අයත් එල්බී ෆිනෑන්ස් මගින් සිය කොටස් අතුරු බෙදීමක් පිළිබඳ සිදු කළ නිවේදනයත් සමගින්ම වඩා වැඩි ආයෝජක තරගකාරීත්වයක් වෙළෙඳ පොළ තුළ පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් විදේශීය ආයෝජකයන් තවදුරටත් වැඩිම අලෙවිකරුවන් බවට පත්ව ඇති අතර, ආයෝජන පිටතට ගලායාම්හි ප්‍රවණතාවේ ඉහළ යාමක්ද දැකගත හැකි වූ බව එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 8,680.15ත් ඒකක 8,865.53 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,815.01 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 26) දිනයට සාපේක්ෂව ඒකක 146.19 ක් එනම් +1.69%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව එල්බී ෆිනෑන්ස් පීඑල්සී, සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී, සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී (ඡන්ද හිමි) සහ එන්ඩීබී බැංකු යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 74ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 150ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+113.06), වැලිබල් වන් පීඑල්සී VONE (+35.05), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+28.11), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී BRWN (+21.28), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (+17.61),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-22.81),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-8.0),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී  DIST (-6.31), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-5.84),  හැටන් නැෂනල් බැංකුව HNB (-5.16)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,505.33 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 26) දිනයට සාපේක්ෂව ඒකක 1.28 ක එනම් +0.04%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.41ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 26දා) වාර්තා කළ රුපියල් බිලියන 11.44ට සාපේක්ෂව 26% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.9ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 30.11%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 258.94ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 1,559.32ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 1,300කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 6.18ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 60.37කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 607.94ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 4,874ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රවාහන යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 3,689ක සහ රුපියල් මිලියන 1,732 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 250