ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම ඉපැරණි කෞතුක භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ සමාගම ලෙස සැලකෙන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම තමන් සතු කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම කෞතුක භාණ්ඩ, එම සමාගම ආරම්භ වූ වර්ෂය වන 1835 ආසන්න කාලසීමාවට අයත් ය.

මෑතකදී සොයාගන්නා ලද එම භාණ්ඩ අතරට සමාගමේ නිර්මාතෘවරුන්ට අයත් දිනපොත් හා වාර්තා සටහන්, ලෙජර්, ලාභ අලාභ ගිණුම් සටහන්, සමාගම් මුද්‍රා, සේවක වාර්තා සහ තවත් එබඳු ලිපිලේඛන රාශියක් ඇතුළත් වේ. මෙම දුර්ලභ කෞතුක වස්තු එකතුව සංරක්ෂණය හා ප්‍රලේඛනගත කිරීමේ කටයුතු මේ වනවිට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ විශේෂඥ මගපෙන්වීම යටතේ සිදුවෙමින් පවතී.

මෙම පෞරාණික භාණ්ඩ අතරින් විශේෂ අවධානයක් යොමුවී ඇති ලේඛන එකතුවක් වන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ නිර්මාතෘවරුන් තිදෙනකු වන, 1806 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි කපිතාන් ජේම්ස් ස්ටුවර්ට්, ජෝසෆ් ස්ටුවර්ට් සහ ජෝර්ජ් ස්ටුවර්ට් යන සොහොයුරන් සතුව පැවති ලිපිලේඛන එකතුවකි. මෙම ලේඛන, යටත් විජිත ශ්‍රී ලංකාවේඑදිනෙදා වාණිජ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි හා විචිත්‍ර අවබෝධයක් ලබා දෙයි. එමෙන්ම ලංකා වාණිජ මණ්ඩලයේ මුල්ම සාමාජිකයන් බවට පත්වීම ඇතුළුව, ජෝර්ජ් ස්ටුවර්ට් සහෝදරවරුන් එම යුගයේ මෙරට ආර්ථිකය තුළ හිමිකරගෙන සිටි පුරෝගාමී ස්ථානය සම්බන්ධයෙන් මෙම ලිපිලේඛන මනා සාක්ෂි සපයයි.

මීට අමතරව 17 වන සියවසේදී සමාගම විසින් භාවිතා කරන ලද මුදල් නෝට්ටු සහ කාසි, බ්‍රිතාන්‍යයේ නිලධාරීන් සමග හුවමාරු කරගත් ලිපි, ගෘහභාණ්ඩ, පොත්පත්,සහ එකල ආරම්භ කරන ලද ඇතැම් ව්‍යාපාර (මේ අතරින් ඇටම් ව්‍යාපාර අදටද කිසියම් ආකාරයකින් ක්‍රියාත්මක වේ) වල මූලාරම්භය සම්බන්ධ තොරතුරු ඇතුළත් අතින් ලියූ සටහන් සහිත දිනපොත් හා වාර්තා වැනි කෞතුක භාණ්ඩ රාශියක්ද මෙම වැඩසටහන යටතේ සංරක්ෂණට ලක්වීමට නියමිත ය. එපමණක් නොව 1800 සියවසට අයත් පුවත්පත් එකතුවක්, කවිපොත් කිහිපයක මුල් මුද්‍රණ එකතුවක් සහ සංචාරකයන්ට සහ වෙළඳුන්ට අයත්ව පැවති, ශ්‍රී ලංකාවේ එකල තත්ත්වය නිරූපණය කරන ලිතෝග්‍රාෆ් මුද්‍රණ එකතුවක්ද මීට අයත් වේ.

මෙම ව්‍යාපෘතියට මගපෙන්වීම ලබාදෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වී ය. “ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම සතු මෙම කෞතුක භාණ්ඩ එකතුව සංරක්ෂණය කිරීමේ වැඩසටහනට දායක වීමට ලැබීම අපට මහත් සතුටක් සහ ගෞරවයක්. මෙවැනි කෞතුක භාණ්ඩ එකතූන් අතීත ශ්‍රී ලංකාවේ එදිනෙදා කටයුතු සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් අප සතු දැනුම පුළුල් කරනවා.  අපගේ සමාජ ආර්ථික ඉතිහාසයේ සැකැස්ම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා මෙවැනි කෞතුක භාණ්ඩ සොයාගෙන, ඒවා සංරක්ෂණය කිරීම හා ප්‍රලේඛනගත කිරීම අතිශයින් වැදගත්. සියවසකට අධික කාලයක් තිස්සේ රට තුළ මෙන්ම සමාගම තුළද වෙනස්කම් රාශියක් සිදුවන අතරතුර පවා මෙම කෞතුක භාණ්ඩ එකතුව ආරක්ෂා කරගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම කටයුතු කිරීම අප අගය කළ යුතුයි. මෙවැනි උරුමයන් සහිත අනෙකුත් සමාගම්ද මේ ආකාරයට තම උරුමයන් සංරක්ෂණය කිරීමට පෙළඹෙනු ඇතැයි කියා අප බලාපොරොත්තු වෙනවා.”

ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම 1835 වසරේදී ආරම්භ වූයේ මෙරට මුල්ම වාණිජ බැංකු සහ කෝපි තැරව්කාර සමාගමක් ලෙසිනි. ඉන් වසර 185 කට පසුව පවා තවමත් ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම මෙරට විවිධත්වයෙන් සපිරි, තරගකාරී සහ වේගයෙන් පුළුල් වන සමාගමක් ලෙස ඉදිරියෙන්ම සිටී. මේ වනවිට එම සමාගම තේ අපනයන, සෞඛ්‍ය සේවා, සංචාරක සේවා, රක්ෂණ තැරැව්කරණ, මූල්‍ය සේවා, කාර්මික විසඳුම් සහ FMCG යනාදී කාණ්ඩ රාශියක් ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් දිශානතියක් වෙත යොමුකරවීමේ ශක්තිය ව්‍යාපාර ක්ෂේත්‍රය සතු ය යන විශ්වාසය මත පදනම්ව ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම දිගින් දිගටම මෙරට ජාතික අරමුණු වලට සමගාමී කර්මාන්ත වලට පිවිසෙමින් සිටී.

Visits: 114