සන්ෂයින් හෝල්ඩිංග්ස් – අක්බාර් ෆාමසූටිකල් ගණුදෙනුව සම්පූර්ණ වෙයි

අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගමට අයත් අක්බාර් ෆාමසූටිකල් (පෞද්) සමාගම සිය පරිපාලිත සමාගමක් වන සන්ෂයින් ‍හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගම මගින් අත්පත් කරගැනීමේ කටයුතු ඊයේ (2020 ජනවාරි 25) දිනයේදී සම්පූර්ණ වුණු බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් මෙම කොටස් ගනුදෙනුව පිළිබඳව පළමු අනාවරණය පසුගිය වසරේ දෙසැම්බර් 16 වැනිදා සිදු කළ අතර, ඊට අදාළ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමාගම අත්පත් කරගැනීම මෙලෙස ඊයේ දිනයේදී සිදුව තිබේ.

ඒ අනුව මෙහිදී අක්බාර් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 2.9ක් (2,994,189ක්) රුපියල් මිලියන 2,320ක (2,320,249,300ක) මුදලකට මිලදී ගැනීම සිදු කළ බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

එසේම මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීම වෙනුවෙන් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,758,178ක් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම වෙත ලබා දෙමින් මෙම ගනුදෙනුව සම්පූර්ණ කෙරුණු බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

මීට අමතරව, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් තමන් සතුව තිබූ සන්ෂයින් හෙල්ත්කෙයාර් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 330,981ක් අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම වෙත හුවමාරු කිරීමක්ද මෙහිදී සිදුව ඇත. එම හුවමාරුවෙහි වටිනාකම රුපියල් මිලියන 278 කි (278,429,916කි)

Visits: 340