හරිත් රණසිංහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස යූ.කේ. හරිත් රුවන් රණසිංහ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජනවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

පසුගියදා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව ගිය ආචාර්ය අමල් කරුණාරත්න මහතාගෙන් හිස්වන ධුරය සඳහා මෙලෙස රණසිංහ මහතා පත් කෙරී ඇතැයි සමාගම පවසයි. එහිදී මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

ඒ මහතා මෙම ධුරයට පත්වීමට පෙරාතුව ඒ මහතා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම යූ.කේ.ජී. එන්ටර්ප්‍රයිස් සමාගමේ සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

රණසිංහ මහතා ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ලංකා තේ මණ්ඩලයේ විගණන කමිටු සාමාජිකයෙකුද වෙයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මීට අමතරව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි.

Visits: 158