එන්නතේ බලාපොරොත්තුව ආයෝජක විශ්වාසය තවත් වැඩි කරයි

අද දිනයේදී (ජනවාරි 25) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පිට පිට තෙවැනි දිනයටත් කැපී පෙනෙන ගැනුම්බරතාවයක් පෙන්නුම් කරමින් සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 8,700කට ආසන්න වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු ඇතුළු අනෙකුත් වටිනා සමාගම් කොටස් වටිනාකම්හි ඉහළයාමක් දැකගත හැකි වීම ඊට මූලිකවම හේතු වී තිබේ. එසේම මෙම සතිය මැදදී මෙරටට පැමිණීමට නියමිත කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ බලාපොරොත්තුවද ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමට සමත්ව ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,570.30ත් ඒකක 8,729.21 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,694.35 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 230.92 ක් එනම් +2.73%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ටීජේලංකා පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි), කොමර්ෂල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී,  හැටන් නැෂනල් බැංකුව, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව, හේලීස් පීඑල්සී සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 126ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 96ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+39.21), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+32.61), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+30.41),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+19.99), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+17.19),   කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-8.75),  එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-6.0),  ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී  DIST (-4.21), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.73),  යුනියන් බැංකුව UBC (-3.31)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,500.82 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22) දිනයට සාපේක්ෂව ඒකක 188.47 ක එනම් +5.69%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.99ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ජනවාරි 22දා) වාර්තා කළ රුපියල් බිලියන 12.84ට සාපේක්ෂව 17% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.8ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 28.37%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 220.07ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 974.12ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 754.05කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 4.69ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.72කි. එසේම  ටීජේ ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 232.5ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 3,429ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,954ක සහ රුපියල් මිලියන 2,221 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 386