ශ්‍රී ලංකාව සංචරණයට විවෘත කිරීමත් සමඟම ජර්මන් ජාතික ආයුර්වේද සංචරණ නියෝජිත පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සංචාරකයන්ට තම සීමාමායිම් විවෘත කිරීමත් සමඟම මුල්වරට ජර්මන් ජාතික සංචාරක ව්‍යාපාර නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සුවතා නිවාඩුවක් ගත කිරීමට, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙසේ පැමිණි සංචාරක ව්‍යාපාරයේ නියුතු ජර්මනියේ සුප්‍රසිද්ධ “ෆිට් රයිසන්” (Fit Raisen) සමාගම් නියෝජිතයන් ජර්මනියේ ආයුර්වේද සංචාර ප්‍රවර්ධනයට මෙන්ම ආයුර්වේද චාරිකා සඳහා ජර්මනියේ ජනප්‍රසාදය දිනා සිටින ජනප්‍රිය මාධ්‍යවේදීන්ද මේ ජර්මන් ජාතිකයන් අතර වෙයි.

නව සාමාන්‍ය යුගයේ ජාත්‍යන්තර සංචාරය ආරම්භ කරන මේ මොහොතේ, මුලින්ම, ජර්මන් ජාතික වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතවරුන් මෙහි පැමිණීම සුවිශේෂී වැදගත් කරුණක් වන අතර, ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව කෙරෙහි මනා පැහැදීමක් හා විශ්වසනීය තත්ත්වයක් ඇති කිරීමට ඉවහල් වෙයි.

මෙසේ මෙරට පැමිණි ජර්මන් නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකාව තුළ කළමණාකරණය කර තිබෙන “ආරක්ෂිත කලාපය” සත්තකින්ම අත්විඳින්නට අවස්ථාවක් උදා වෙයි.

ශ්‍රී ලංකා සංචරණය ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව වෙනුවෙන්ම සකස් කළ නීතිරීති හා ක්‍රියාන්විතය තුළින් ලබන අත්දැකීම් හා ඉගෙනුම් සංචාරක ක්ෂේත්‍රය යායුතු මාර්ගය පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව සඳහා වඩාත්ම සුවපහසුව සලසන, සුවදායක, සිත්ගන්නා සුළු අත්දැකීම් ලඟාකර දීම සඳහා ඉතාම ඉහළ සේවාවක් ලබාදීම කළයුතු වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ක්ෂේත්‍රයේ නියැලි නියෝජිතයන් අප දිවයින හා සම්බන්ධ වී දශක දෙකක් පමණ කාලයක් තුළ තම ව්‍යාපාර හා වෘත්තීය පරිසරය තුළ ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංචරණය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ නියැලුන අය වෙති. එම නිසා නැවත ජාත්‍යන්තර සංචරණය ඇරඹීමත් සමඟ ඔවුන් මෙහි පැමිණීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයට මුලපිරීමක් ලෙසත්, ආයුර්වේද සංචරණය වර්ධනය වීම ස්ථාවර කරන පියවරක් ලෙසත් වැදගත් වේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙරටට පැමිණි ව්‍යාපාරික නියෝජිත පිරිස ආරක්ෂණ ක්‍රමවේද වලට අනුකූලව, ශ්‍රී ලංකාවට ආවේනික උණුසුම් ආගන්තුක සත්කාරයෙන් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා ආයුර්වේද සංසදය (Ayurvedic Alliance of Sri Lanka) විසින් මෙම සංචාරය මෙහෙයවනු ලබන අතර, පැමිණි නියෝජිතයින්ගේ ගමනාගමන හා නවාතැන් පහසුකම් සලසාදීමට ආයුර්වේද හෝටල් මඟින් අනුග්‍රාහකත්වය සපයා දී ඇත.

ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර හා PCR පරීක්ෂණ ඇතුලු අනෙකුත් අවශ්‍යතා ආවරණය වන පරිදි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අනුග්‍රාහකත්වය සපයා දී ඇත. මේ සත්කාර තුළින් පැමිණි සංචාරක නියෝජිත පිරිසගේ සුවපහසුවට මුල් තැන දෙමින්, වඩාත් සිත්ගන්නා සුලු සුවදායක සංචාරයක් ශ්‍රී ලංකාව තුළ ලබා දීම අරමුණු කෙරේ.

Visits: 206