ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස්හි රු. බිලියන 2ක ණයකර නිකුතුවකට අනුමැතිය

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් ඉල්ලීම් කරන ලද මිලියන 20ක ණයකර කොටස් නිකුතුවක් සඳහා අනුමැතිය ලබා දීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන ඇතැයි පවසයි. 2021 පෙබරවාරි 01 වැනිදා මෙම ණයකර සඳහා ඉල්ලුම් කිරීමට ආයෝජකයන්ට විවෘත කිරීමට නියමිතව තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී මූලික නිකුත් කිරීමක් යටතේ ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, ආපසු නිදහස් කරවාගත හැකි ණයකර මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් නිකුත් කෙරෙන අතර ඒ හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 1කි. (1,000,000,000)

ඊට අමතරව තවත් ණයකර මිලියන 10ක නිකුතුවක් සිදු කිරිමටත් ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සැලසුම් කර ඇති අතර, එහිදීද ණයකරයක් රුපියල් 100ක් බැගින් ණයකර නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියනයකි. (1,000,000,000)

ඒ අනුව මෙම නිකුතු දෙක හරහා රැස් කෙරෙන සම්පූර්ණ මුදලේ වටිනාකම රුපියල් බිලියන 2 ක් (2,000,000,000) බව ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

Visits: 263