එල්ඕඑල්සී සමූහයේ වැඩි දායකත්වයෙන් ASPI ඒකක 332.18 කින් ඉහළට

අද දිනයේදී (ජනවාරි 22) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු දෙවැනි දිනයටත් කැපී පෙනෙන ගැනුම්බරතාවයකින් පැවැතීම තවදුරටත් සමස්ත කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී එල්ඕඑල්සී සමූහයේ සමාගම් දිනයේ ගනුදෙනු වර්ධනය සඳහා වැඩිම දායකත්වය ලබා දී තිබේ. එසේම බැංකු ඇතුළු අනෙකුත් වටිනා සමාගම් තුළද කොටස් වටිනාකම්හි යම් ඉහළයාමක් දැකගත හැකිවූ බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,250.07ත් ඒකක 8,491.00 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,463.43 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 21) දිනයට සාපේක්ෂව ඒකක 332.18 ක් එනම් +4.09%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව කොමර්ෂල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ටෝකියෝ සිමෙන්ට් කම්පැනි පීඑල්සී (ඡන්දහිමි), සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ලයන් බෘවරි සිලෝන් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 9%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 139ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 79ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී LOLC (+76.37), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+31.11), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+20.06),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+19.68), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+18.85),   ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-5.78),  හේලීස් පීඑල්සී  HAYL (-4.8),  හේකාර්බ් පීඑල්සී  HAYC (-4.16), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.74), ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී  EBCR (-3.31)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,312.35 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 21) දිනයට සාපේක්ෂව ඒකක 115.62 ක එනම් +3.62%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.84ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 21දා) වාර්තා කළ රුපියල් බිලියන 14.2ට සාපේක්ෂව 9.5% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.7ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 24.96%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 238.45ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 821.19ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 582.74කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 3.94ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.66කි. එසේම  සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 193.01ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 3,368ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,498ක සහ රුපියල් මිලියන 1,705 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 214