ආනයන සීමා කිරීම නිසා මෙරටදී නිපදවුණු ගෑස් උදුන

අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම මෙරටදී නිපදවුණු ගෑස් උදුනක් වෙළෙඳ පොළට හඳුන්වාදීමට සූදානම්ව සිටින බව පවසයි. වත්මන් රජයේ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ එය ඉදිරිපත් කිරීම සැලසුම වී තිබේ. ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් පසුගියදා සිය නිෂ්පාදනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

ගෑස් උඳුන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයේ යෙදුණු ඔක්ටාන් පෞද්ගලික සමාගම පසුව උපාංග පිටරටින් ගෙන්වා එකලස් කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව සමාගමේ සභාපති ලක්ෂමන් විතානච්චි මහතා මෙහිදී සඳහන් කරයි. එහෙත් පසුගිය වසරේදී රජය විසින් ආනයනික සීමා පැනවීමත් සමගම උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා පැන නැගීම මෙලෙස මෙරට තුළ ගෑස් උදුන් නිෂ්පාදනය ආරම්භ කිරීමට හේතුව වූ බව හෙතෙම පවසයි.

“එම තත්වය හමුවේ ගෑස් උදුන් උපාංග අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පළමුව නිපදවනු ලැබුවා. පසුව ඒවා යොදාගෙන අවශ්‍ය උපාංග නිපදවීමට පියවර ගත්තා. අද වන විට ගෑස් උදුනේ බර්නරයද අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. දැනට පිටතින් ලබා ගැනීමට සිදුව ඇත්තේ ‘ලයිටරය’ පමණයි.”  ඒ මහතා සඳහන් කර තිබේ.

මේ සියලු උපාංග නිෂ්පාදනය, සමාගමේ නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න මහතාගේ මග පෙන්වීම මත සිදුව ඇත. මේ රටේ පාරිභෝගික ජනතාවට ආනයනික ගෑස් උඳුන් හා සම තත්වයේ ගුණාත්මක බවින් යුත් ගෑස් උදුන් ලබාදීම සිය බලාපොරොත්තුව බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී එම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Visits: 135