සංචාරකයන්ට යළිත් රට විවෘත කළ පළමු දිනයේ වාණිජ ගුවන් ගමන් 15ක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාස 10ක් විදෙස් සංචාරකයන් සඳහා වසා දමා තිබූ මෙරට ගුවන් තොටුපොළ ඊයේ යළිත් විවෘත කළ දිනයේදීම වාණිජ ගුවන් ගමන් 15ක් මෙරට වෙත සිදු ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ අනාවරණය කළේය.

විදෙස් සංචාරකයන් සඳහා රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සදහා ඊයේ (21) උදෑසන කොළඹ දී පැවති උත්සවයකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කර තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුණි.

ඒ අනුව කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට මගී මෙහෙයුම් සිදු කළ සියළුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකගත්වය පළ කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ. 

එසේම කොවිඩ්-19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු තත්වයකට මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. එහෙත් ඒ සදහා කිසියම් කාලයක් ගත විය හැකි බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

“මාස 10 ක් තිස්සේ සංචාරකයන්ට වසා දමා තිබූ රට අද සිට නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය බෝවීම වැලැක්වීමයි. ඒ සදහා අපි ගත හැකි ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සදහා මේ සුන්දර දිවයිනට එන්නැයි අපි ලෝකය පුරා සිටින සියළුම සංචාරකයින්ට ආරාධනය කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “කොවිඩ් වසංගතය පැමිණීමට පෙර අපේ රටට ජාත්‍යන්තර ගුවන් සමාගම් 35 ක් පමණ මගී මෙහෙයුම් සිදු කලා. ඒ සියළු ගුවන් සමාගම් අප සමග යළි වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. අපි දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක් කටුනායක ගුවන්තොටුපොල තුළ සිදු කලා.” යනුවෙන් පවසා ඇත.

මේ අතර, ලෝකයේම ක්‍රියාත්මක %නව සාමාන්‍යකරන^ වැඩපිළිවෙල යටතේ එවැනි තත්ත්වයකට පැමිණීමට ටික කාලයක් යා හැකි නමුත් එය ක්‍රමක්‍රමයෙන් සිදුවේවියැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරත් පවසා ඇත.

“සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම අභියෝගයක්. එම අභියෝගය ජය ගැනීම සදහා රජය සුදානම්. සංචාරක කර්මාන්තය හරහා යැපෙන ලක්ෂ 30 ක් වන ජනතාව වෙනුවෙන් මෙම තීරණය ගත්තා.”  සංචාරක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය, රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග මතු විය හැකි තත්වයන් සමාලෝචනය කොට විසදාලීම සදහා පැය 24 ක් පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව පවසා තිබේ. 

එසේම සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ගත කිරීමට අවශ්‍ය අවම දින ගණන පිළිබද නියමයක් නොමැති බවත්, ඔවුන් නවාතැන් ගන්නා හෝටලයේ පිහිනුම් තටාක සම්භාහන මධ්‍යස්ථාන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුලු සියලු පහසුකම් විදීමට අවස්ථා හිමි වන බවත් සභාපතිනිය මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තේමිය අඹේවික්‍රම, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මිහූ ද සහභාගි වී තිබේ.

Visits: 72