හේලීස් සහ වැලිබල් වන් සමූහයන්හි දායකත්වයෙන් ASPI ඒකක 8,000 ඉක්මවයි

අද දිනයේදී (ජනවාරි 21) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයට පැය කිහිපයකට පෙර අනාවරණය කෙරුණු ව්‍යපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් සමූහයේ සමාගම් 14ක කොටස් අතුරු බෙදීමේ සැලසුම් සමගින්ම දිනයේ ගනුදෙනු වඩාත් ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව හේලීස් සමූහය සහ වැලිබල් වන් සමූහය දිනයේ ගනුදෙනු ඉහළයාම සඳහා 20%ක වඩා වැඩි දායකත්වයක්ද ලබා දී ඇතැයි එම තැරැව්කාර සමාගම් පවසයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,852.70ත් ඒකක 8,185.46 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට ඒකක 8,131.25 ක් බවට පත්විය. එය ඊයේ (ජනවාරි 20) දිනයට සාපේක්ෂව ඒකක 246.80 ක් එනම් +3.13%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව (ඡන්දහිමි), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී, ඩීඑෆ්සීසී බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී (ඡන්ද හිමි) සහ එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 9%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 109ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී LOLC (+53.54), හේලීස් පීඑල්සී HAYL (+34.74), වැලිබල් වන් පීඑල්සී VONE (+27.34),  හේකාර්බ් පීඑල්සී HAYC (+26.1), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+18.49),  කොමර්ෂල් බැංකුව COMB (-7.54),  බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී  BIL (-6.57),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (-6.53), ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (-5.91), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-5.84)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,196.73 ක අගයක් ගත් අතර, එය ඊයේ (ජනවාරි 20) දිනයට සාපේක්ෂව ඒකක 100.38 ක එනම් +3.24%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 14.2ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ජනවාරි 20දා) වාර්තා කළ රුපියල් බිලියන 9.37ට සාපේක්ෂව 52% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.55ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 20.06%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 135.27ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 601.38ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 466.11කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 3.35ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 52.3කි.  

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් වන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.2කි. එසේම  හැටන් නැෂනල් බැංකුව (ඡන්ද හිමි) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 190.23ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 4,455ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 3,886ක සහ රුපියල් මිලියන 2,047 දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 168