ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ගුවන් ගමන් ළඟදීම ඇරඹීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ගුවන් ගමන් ආරම්භ කිරිම සදහා පැවැති සාකච්ඡා සාර්ථක වී ඇතැයි විදේශ කයුතු අමාත්‍යංශය පවසයි. මෙරට විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡා පැවැත්වී තිබේ. මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු (අග්නිදිග ආසියාව) මොහාන් මීගොල්ල මහතා මෙන්ම මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ තානාපති මහාචාර්ය සිල්වා මැතිතුමා දෙරට අතර පවතින බෞද්ධ සංස්කෘතික සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ගුවන් සම්බන්ධකතාවය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා පවත්වා ඇති බව පැවසීය. මේ අනුව 2021 වසරේ මැද භාගයේදී දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කීරිමට හැකි වනු ඇති බවද මෙම සාකච්ඡාවේදී විශ්වාසය පළ වී ඇත.

මියන්මාර බෞද්ධ භික්ෂූන් වහන්සේලා 300 නමක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන අතර, ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා සහ නියෝජිත කණ්ඩායම් රැසක් භාවනා සහ වෙනත් ආගමික අරමුණු සඳහා මියන්මාරයට පැමිණේ. මියන්මාරයේ සිට වෛද්‍ය සංචාරක කටයුතු සඳහා විශාල ඉඩ ප්‍රස්තාවක් පවතින බව එතුමා වැඩිදුරටත් පැවසීය. මියන්මාර රජය, සංචාරක සංගම් සහ විශේෂයෙන් මියන්මාරයේ ජනාධිපතිවරයා ද  මෙම ගමනාන්ත දෙක අතර ගුවන් සම්බන්ධතාවය ඇති කිරීම කෙරෙහි සිය උනන්දුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ජීවන ප්‍රනාන්දු මහතා, පශ්චාත් කොවිඩ් අවධියේ දී බෞද්ධ සංචාරකයින් මෙරටට පිළිගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බැවින්, මෙය විශිෂ්ට පියවරක් මෙන්ම කාලෝචිත කටයුත්තක් ලෙස ප්‍රශංසා කළේය. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මියන්මාරයේ සිට සංචාරකයින්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීම පිණිස ප්‍රබල ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට තහවුරු කර තිබේ.

විදේශ ලේකම් මහාචාර්ය කොළඹගේ මහතා සිය අදහස් දක්වමින්, මියන්මාරයට ගුවන් ගමන් ආරම්භ කිරීම මඟින් දෙපාර්ශ්වයේම සංචාරකයින් සඳහා පහසුකම් සැපයෙන බවත්, සංචාරකයින් සඳහා ජනවාරි 21 වැනි දින ශ්‍රී ලංකාව ගුවන් තොටුපල විවෘත කිරීමට සූදානම් වන බැවින් එය කාලෝචිත වන බවත් පවසා තිබේ. විශේෂයෙන් අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල් කෙරෙහි අවධානය යොමු කිරීමට අතිගරු ජනාධිපතිතුමා අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය. මියන්මාරය ශ්‍රී ලංකාවේ සමීපතම නාවික අසල්වැසි රටක් වන අතර, දෙරට අතර වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශාල ඉඩ ප්‍රස්තාවක් පවතින බව ද විදේශ ලේකම්වරයා අවධාරණය කර ඇත.

මෙම රැස්වීම සඳහා ගුවන් ගමන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා සහ නිලධාරීන්, විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නැගෙනහිර), නියෝජ්‍ය නීති උපදේශක සහ නිලධාරීන්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ද සහභාගී වූ බව පැවසෙයි.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය ක්‍රි.පූ. 04 වැනි සියවස දක්වා දිවෙන බුද්ධාගම පදනම් කරගත් ඉතිහාසයකට හිමිකම් කියයි. අනුරාධපුර රාජධානි සමයේ දී බොහෝ මියන්මාර භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් නිතර ශ්‍රී ලංකාවට පැමිණි අතර, පොළොන්නරුව රාජධානි සමයේ දී පළමුවැනි විජයබාහු රජු, පළමුවැනි පරාක්‍රමබාහු රජු සහ දෙවැනි විජයබාහු රජු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූහ. 1865 දී ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ නිකාය පිහිටුවීම මියන්මාරය සමඟ පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව 1949 දී මියන්මාරය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත් අතර, 2019 දී වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීය.

Visits: 131