ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුව නව වාර්තා දෙකක් තබයි

කොළඹ කොටස් හුවමාරුව ඊයේ (2021 ජනවාරි 13) දිනයේදී නව වාර්තා දෙකක් තබමින් සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කළ බව පවසා සිටියි.

ඒ අනුව ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය වන රුපියල් ට්‍රිලියන 3.25ක අගයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

එසේම දිනක් තුළ වාර්තා වුණු වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වන 52,559 සනිටුහන් කිරීමටද කොළඹ කොටස්  හුවමාරුව ඊයේ දිනය තුළදී සමත්ව තිබේ. මෙය වසර 09 කට පසුව වාර්තා වූ ඉහළම අගයද වන බව පැවසෙයි. 2011 වසරේ අගෝස්තු 18 වැනිදා සිදු වූ ගනුදෙනු 49,921 මීට පෙර ඒ සම්බන්ධයෙන් තබා තිබූ වාර්තාව ලෙස සටහන්ව තිබේ.

මේ අතර, කොළඹ කොටස්  හුවමාරුවෙහි සිදු වුණු සමස්ත වෙළෙඳ පොළ ක්‍රියාකාරකම් හරහා තවදුරටත් එහි ගම්‍යතාව ඉහළ නංවමින් දර්ශක අගයන් දෙකෙහිම වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේම ඊයේ දිනයේදී සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9 පසු කළ අතර, 2021 වසරේ මේ දක්වා ගත වූ ගනුදෙනු දින අට ඇතුළතදී පිරිවැටුමේ සාමාන්‍යය රුපියල් බිලියන 7.4ක් ලෙස සටහන්ව ඇතැයිද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

එසේම අද දිනයේ ගනුදෙනු නිමාවට පත්වන විට සමස්ත කොටස් මිල දර්ශකයද පෙරේදා දිනයට සාපේක්ෂව ඒකක 160.99 කින් ඉහළ යමින් ඒකක 7,443.23ක අගයකට පත්විය. එය 2015 වසරේ අගෝස්තු 21 වැනිදායින් පසුව වාර්තා කළ ඉහළම සමස්ත කොටස් මිල දර්ශක අගයද වෙයි.

එසේම එය දශකයක් තුළ සමස්ත කොටස් මිල දර්ශකයේ අඩුම අගය වාර්තා කළ 2020 වසරේ මැයි 12 වැනිදා සිට මේ දක්වා එම දර්ශකයේ සිදු වුණු 75෴ක වර්ධනයක් පෙන්නුම් කරවන්නක් බවද කොළඹ කොටස් හුවමාරුව පවසා සිටියි.

මීට අමතරව විශාල සහ ඉහළ ද්‍රවශීලතාවක් සහිත කොටස් සතු සමාගම් 20කින් සමන්විත ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයද පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ දිනයේදී ඒකක 39කින් ඉහළ යමින් දිනය නිමා වනවිට ඒකක 2,782.17ක් බවට පත්ව තිබුණු බවද කොළඹ කොටස් හුවාමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 497