IFC වෙතින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ඩොලර් මිලියන 25ක ණයක්

ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) මගින් මෙරට  බලපත්‍රලාභී වානිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක ණයක් ප්‍රදානය කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි පවසයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත අවශ්‍ය කාරක ප්‍රාග්ධන සැපයුම වෙනුවෙන් මෙම ණය මුදල බැංකුව වෙත ලබා දෙන බව IFC ආයතනය සඳහන් කරයි. එසේම වසංගතය හේතුවෙන් සිදුව අහිමිවී යන රැකියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ද මෙම මුදල් ලබා දෙන බව පැවසෙයි.

ඒ අනුව ලබා දෙන මෙම මූල්‍ය පැකේජය නේෂන්ස්  ට්‍රස්ට් බැංකුව මගින් ශ්‍රී ලංකාවේ සුළු සහ කුඩා පරිමාණ ව්‍යවසායන් සහ සමාගම් වෙත ලබා දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සඳහන් කරයි. එම ආයතනය මෙම ගෝලීය කොවිඩ්-19 වසංගතය හමුවේ ලබා දෙන ඩොලර් බිලියන 8ක මූල්‍ය පහසුකම යටතේ බැංකුව වෙත මෙම ණය මුදල හිමිව තිබේ.

“මෙම ආයෝජනය IFC හි කොවිඩ්-19 සඳහා වන ප්‍රතිචාර දැක්වීම යටතට ඇතුළත් කාරක ප්‍රාග්ධන විකල්ප යටතේ සිදු කරන්නක්. මේ හරහා ලොව පුරා දියුණු වෙමින් පවතින රටවල බැංකු වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක පමණ මුදලක් ල බා දෙනවා. එමගින් එම බැංකුවල මෙහෙයුම් පවත්වාගෙන යාමට මෙන්ම රැකියා ආරක්ෂා කරගැනීමටත් දායක වේවි.” IFC ආයතනය පවසයි.

මෙම ණය මුදල හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා, “IFC මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තුළ සිදු කළ මෙම ආයෝජනය රටෙහි අපනයන වර්ධනය කරමින් ආනයන සීමා කරමින් රජය විසින් සිදු කරන ආර්ථිකය ශක්තිමත් කිරීමේ උත්සාහයට වඩාත් හොඳින් සහාය දීමට ලැබුණු අවස්ථාවක්. මේ මගින් අපට බලපෑමට ලක් වූ ව්‍යාපාර – අපනයනකරුවන්, දේශීය කර්මාන්ත, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත අවශ්‍ය වෙළෙඳ මූල්‍ය සහ කාරක ප්‍රාග්ධන පහසුකම් සපයන්නට පුළුවන්.” යනුවෙන් පවසා සිටියි.

මෙම IFC ආයතනයත් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වසර 50කට ආසන්න කාලයක් සිය මෙහෙයුම් දියත් කරයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවද එම ආයතනයේ දිගුකාලීන ගනුදෙනුකරුවෙකි. එසේම බැංකුවෙහි ආරම්භක කොටස්කරුවෙකු ලෙසද IFC  ආයතනය 1999 වසරේ සිට මේ දක්වා අවස්ථා ගණනාවකදීම ආයෝජන සහ උපදෙස් ලබා දෙමින් සහයෝගය දක්වා තිබේ.

IFC  ආයතනය පවසන ආකාරයට මෙය එම ආයතනයේ ගෝලීය එක්සත් ජනපද ඩොලර් 8ක වේගවත් කොවිඩ්-19 ප්‍රතිචාර පහසුකම යටතේ ශ්‍රී ලංකාව වෙත  ලබා දුන් දෙවැනි ආයෝජනයද වෙයි. මීට පෙර 2020 ජූනි මාසයේදී එම ආයතනය මගින් කොමර්ෂල් බැංකුව වෙතද ඩොලර් මිලියන 50ක ණයක් ලබා දුන් අතර එය කොවිඩ්-19 වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත අවශ්‍ය ණය පුළුල් කිරීම අරමුණු කරගනිමින් ප්‍රදානය කෙරුණකි.

මීට අමතරව පසුගිය වසරේදී IFC මගින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙතද ඩොලර් මිලියන 175ක ආයෝජනයක් සිදු කර තිබේ. එම සහයෝගය හරහා සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ සිදු කරන ව්‍යාපාර පුළුල් කිරීමට මෙන්ම කලාපය තුළ සිල්ලර සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද යොදා ගැනීමට නියමිතය. එසේම මෙම ඩොලර් මිලියන 25ක ණය මුදල හිමි වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගමකි.

Visits: 344