ශ්‍රී ලංකා සිල්ලර වෙළෙදුන්ගේ සංගමයේ සභාපති ධුරය මුරලි ප්‍රකාශ්ට

ශ්‍රී ලංකා සිල්ලර වෙළෙදුන්ගේ සංගමයේ 4 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී පැමිණි එකඟතාවට අනුව 2020/21 වසර සඳහා එම සංගමයේ සභාපති ධුරය ඇම්බියොන් කැපිටල් සහ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාශ් මහතා වෙත පිරිනැමුණු බව එම සංගමය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් 17 වැනිදා පැවැත්වුණු මෙම වාර්ෂික මහා සභා රැස්වීම අන්තර්ජාල තාක්ෂණය හරහා අතථ්‍ය හමුවක් ලෙස සංවිධානය වූ බව එම සංගමය පවසයි.

එසේම 2020/21 වසර සඳහා එම සංගමයේ නව සභාපතිවරුන් ලෙස ජේ කේ මාර්කටිං සර්විසස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චරිත සුභසිංහ මහතාත්, හෙල්ත්ගාර්ඩ් ෆාමසි පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ෆියාස් අලි යන මහත්වරුන් තේරීපත් වී තිබේ.

එහිදී අදහස් දක්වා ඇති සංගමයේ හිටපු සභාපති සිදත් කොඩිකාර මහතා, 2015 වසරේදී පිහිටුවුණු ශ්‍රී ලංකා සිල්ලර වෙළෙදුන්ගේ සංගමය සතුව ‘සිල්ලර වෙළෙඳාමේ විශිෂ්ඨත්වය අත්පත් කරගැනීමේ’ බලාපොරොත්තු සහගත දැක්මක් පවතින බව සඳ හන් කර තිබේ. එසේම ‘ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳාම් කර්මාන්තයේ  හඬ’ බවට පත්වීමත් සිය අරමුණ බව ඔහු මෙහිදී පවසා ඇත.

2020/21 ඉදිරි වසර සඳහා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය වෙත තේරී පත් වූ අනෙකුත් විධායක කවුන්සිල සාමාජිකයන් වන්නේ – මහලේකම් – කෞෂල්‍ය පෙරේරා (අධ්‍යක්ෂ, ඩී සැම්සන්ස් සහ පුත්‍රයෝ පෞද් සමාගම), සහකාර මහලේකම් – දිනේෂ් පෙරේරා (අධ්‍යක්ෂ, අබාන්ස් පීඑල්සී), භාණ්ඩාගාරික මහේෂ් විජේවර්ධන (ප්‍රධාන විධායක නිලධාරී සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී), සහකාර භාණ්ඩාගාරික අජිත් අමරසේකර යන මහත්වරුන්  පත් වී තිබේ.

මීට අමතරව කාණ්ඩ වශයෙන් පත් කෙරුණු සභාපතිවරුන් ලෙස – ගෘහභාණ්ඩ සහ පාරිභෝගික විදුලි උපකරණ – අශෝක පීරිස් (අධ්‍යක්ෂ කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සහ හැටන් නැෂනල් බැංකුව), ඊ වානිජ – දුලිත් හේරත් (නිර්මාතෘ කප්රුක.කොම් පෞද්ගලික සමාගම), විනෝදාස්වාදන, ආපනශාලා සහ ක්ෂණික ආහාර – රුවිනි කාරියවසම් මහත්මිය (සාංගමික කළමනාකාර පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පෞද් සමාගම යන මහත්ම මහත්මීන් පත් කෙරී ඇත.

එසේම මෙම සංගමයේ නිර්මාතෘ සභාපතිවරයා වන හුසේන් සාදික් (නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ හමීඩියා), හිටපු සභාපති සිදත් කොඩිකාර මෙන්ම කමිටු සාමාජික රඛිල් ප්‍රනාන්දු (කළමනාකාර අධ්‍යක්ෂ කයිමු ලංකා පෞද්ගලික සමාගම) යන මහත්වරුන්ද 2020/21 වසර සඳහා වන සංගමයේ විධායක කවුන්සිලයේ සාමාජිකයන් වෙයි.

මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ නව සභාපති මුරලි ප්‍රකාශ් මහතා, “ගෙවුණු දශකයේදී සිල්ලර වෙළෙඳාමේ සිදු වූ වෙනස්කම් ඉතාමත් සුවිශේෂයි. එය වේගය හා තාක්ෂණය සමගින් එකිනෙකට බැඳුණා. ඒ වගේම මේ ක්ෂේත්‍රය තවදුරටත් ඉදිරි බොහෝ අභියෝග හමුවේ කම්පනයට පත්වීමට නියමිත ක්ෂේත්‍රයක්. සිල්ලර වෙළෙදුන්ගේ සංගමය විදියට අපි අනාගතයේ ශ්‍රී ලංකාව සිල්ලර වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කටයුත්ත වෙත අවධානයෙන් යුතුව බලා සිටිනවා. එහිදී සංචාරක කර්මාන්තය වෙත ලබා දෙන ඉදිරි ප්‍රගමනයත් මූලික වෙනවා. ඒ වගේම රට පුරාම සුවිශේෂී සිල්ලර වෙළෙඳාමක් බිහි කිරිමත් අපේ අරමුණක්. එය පාරිභෝගිකයා, සමාජය මෙන්ම ව්‍යාපාරයත් වඩා දියුණු කිරීමට දායක වේවි.” යනුවෙන් පවසා ඇත.

මේ අතර, මුරලි ප්‍රකාශ් මහතා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ධුර දරන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සහ ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දන්වා සිටියේ ඒ මහතා ලබන ජනවාරි 31 වැනිදා සිය ධුරයට සමුදීමට සූදානමින් සිටින බවකි.

Visits: 205