කොළඹ වරායට නව බහාලු මෙහෙයුම් මධ්‍යස්ථානයක්

කොළඹ වරාය වෙත නව බහාලු මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිම සඳහා වන මුල් ගල් තැබීම ඊයේ දිනයේදී කොළඹ වරාය සමගි බහාලු පර්යන්ත පරිශ්‍රයේදී සිදු විය. වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය  රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවී තිබේ.

කොළඹ වරායේ බහාලූ මෙහෙයුම් මධ්‍යස්ථානයන්හි ගුණාත්මක තත්ත්වය ඉහල නංවාලීමේ අරමුණින් මෙම නව බහාලූ මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදි කෙරෙන බව අමාත්‍යාංශය පවසයි. 

විශේෂයෙන්ම කලාපීය කේන්ද්‍රීය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සංවර්ධනය කරමින්, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

වසරක් ඇතුලත ඉදිකර අවසන් කිරීමට යෝජිත මෙම බහාලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ සාමාන්‍ය නැව් බඩු ගබඩා කිරීම සඳහා වර්ග මීටර 9,500 ක් ද, අන්තරායකර නැව්බඩු ගබඩා කිරීම වෙනුවෙන් වර්ග මීටර 1,060 ක වපසරියකින්ද සමන්විත වෙයි.

ජාතික සම්පත් ආරක්ෂා කර ගනිමින් ඒවා අනාගත පරපුර වෙත උරුමකර දීමේ රජයේ ප්‍රතිපත්ති අනුව කොළඹ වරායේ ඉදිරි සංවර්ධනය සැලසුම් කෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මෙම අවස්ථාවට, වරාය හා නාවික කටයුතු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී ජයලාල්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධම්මික මාතරආරච්චි, වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක, උප සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න යන මහත්වරුන් ඇතුළු වරාය අධිකාරියේ නිළධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.

Visits: 14