ටොයොටා ලංකා වෙත පළමුවරට ශ්‍රී ලාංකික ප්‍රධාන විධායක නිලධාරියෙක්

මෙරට මුල් පෙළේ මෝටර් රථ අලෙවි සමාගමක් වන ටොයොටා ලංකා සමාගම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නව ජපාන ජාතික සභාපතිවරයෙකු සහ එතෙක් මෙතෙක් පළමුවරට දේශීය කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර ඇතැයි ‍ටොයොටා ජපාන සමාගම පවසයි.

‘ජාතියේ මීළග පරම්පරාවේ මෝටර් රථ හවුල්කාර විසඳුම’ ලෙස මෙන්ම මෙරට තුළ අලෙවිය, අමතර කොටස් සහ සේවාව යන තෙවදෑරුම් සංකල්පයේ මූලිකත්වය ගත් පළමු මෝටර් රථ අලෙවි සමාගම ලෙස ඉදිරියටත් කටයුතු කිරීම වෙනුවෙන් මෙම නව පත් කිරිම් සිදු කර තිබෙන බව සමාගම සඳහන් කර සිටියි.

1995 වසරෙ දෙසැම්බර් 12 වැනිදා පිහිටවුණු ටොයෝටා ලංකා සමාගම අද වනවිට සිය 25 වැනි වසර සමරයි. ජපානයේ ටොයෝටා සමූහයේ Toyota Tsusho Cop (TTC) හි පරිපාලිත සමාගමක් ලෙස ටොයොටා ලංකා සමාගම පිහිටුවා තිබේ.

මෙහිදී ටොයොටා ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස සචියෝ යොට්සුකුරා මහතා පත් කෙරී තිබේ. ඒ මහතා සතුව ටොයොටා සමාගම තුළ වසර 37කට අධික අත්දැකීම් පවතින බව සඳහන් වෙයි. මීට පෙර ඒ මහතා ටොයොටා කෙන්යා හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, ටොයොටා සිම්බාබ්වේහි, මලාවි, උගන්ඩා සහ මුරුසි හි සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇත. ඊට අමතරව මැදපෙරදිග, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, ඔසේනියාව සහ අග්නිදිග ආසියාව තුළදීත් ඔහු සතුව සේවා අත්දැකීම් ඇත.

ශ්‍රී ලංකාව සඳහා ලැබුණු සිය නවතම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන යොට්සුකුරා මහතා ශ්‍රී ලංකාවේ ටොයොටා ලංකා සමාගම සතුව සිටින දක්ෂ කණ්ඩායම හා සම්බන්ධවී එහි නායකත්වය ගැනීමට හැකිවීම සතුටක් බව පවසා තිබේ.  එසේම සමාගම මීළග වර්ධන වේගය සඳහා රැගෙන යාමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ.

මේ අතර ටොයාටා ලංකා සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මනෝහර අතුකෝරාල මහතා පත් කෙරී ඇත. මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරුණු පළමු අවස්ථාවද මෙයයි. මීට පෙර ජපාන ජාතිකයන් හය දෙනෙකු මෙම ධුරය දරා තිබේ.  

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන අතුකෝරාල මහතා, කොළඹ විශ්විවද්‍යාලයෙන් සිය එම්බීඒ උපාධිය ලබා ගෙන ඇත. ඔහු ටොයොටා ලංකා සමාගම හා සම්බන්ධවී ඇත්තේ 2003 වසරේදීය. ඊට පෙර ඒ මහතා ආගන්තුකසත්කාර අංශයේ සමාගමක මූල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

මෙම නව පත්කිරිම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති මනෝහර අතුකෝරාල මහතා තවදුරටත් පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත් සහ ජාතිය වෙත ලබා දෙන ගුණාත්මක සේවාවක් පවත්වාගෙන  යාමට කටයුතු කරන බවත් පවසා තිබේ.

Visits: 20