AMF හා AFC ඒකාබද්ධයේදී කොටස් 338,117ක් නිකුත් කිරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී (AMF) සහ ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී (AFC) යන සමාගම් දෙක ඒකාබද්ධවීමේදී පිහිටුවෙන නව ඒකාබද්ධ සමාගම (ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී) යටතේ ඉදිරියේදී කොටස් 338,117ක ප්‍රමාණයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව සමාගම් දෙකම පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් මෙම ඒකාබද්ධවීම සඳහා අනුමැතිය ලබා දුනි. ඒ අනුව ලබන මාර්තු 31 වැනිදාට පෙරාතුව මෙම ඒකාබද්ධවීම සම්පූර්ණ කිරීම අනිවාර්යය වී තිබේ. මෙම ඒකාබද්ධය සම්බන්ධයෙන් සමාගම් දෙකම ඇති කරගනෙ ඇති එකඟතාවට අනුව ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සීහි සෑම සාමාන්‍ය කොටස් 100ක් සඳහාම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් හි සාමාන්‍ය කොටස් 76ක් හිමි වන අනුපාතයකට කොටස් බෙදීමක් සිදු කෙරේ.

කෙසේ වෙතත් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති කොටස් නිකුතුව සහ ලැයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම ඉදිරි මහා සභා රැස්වීම්වලදී කොටස් හිමිකරුවන්ගෙන් ලබා ගන්නා අනුමැතියද අවශ්‍යව ඇතැයි සමාගම් දෙකම සඳහන් කරයි.

මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් සපුරාගත යුතු සිය මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් නිකුත් කර ඇති නියමය අනුව මෙම ඒකාබද්ධවීම සිදු වෙයි.  එහිදී මෙම බැංකු නොවන මූල්‍ය සමාගම් 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට සිය ප්‍රාග්ධනය රුපියල් බිලියන 2ක් බවට පත් කරගත යුතුව තිබූ අතර, එසේ නොමැති නම් 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට එම ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.5ක් බවට පත් කරගත යුතු වී තිබේ.

ඒ අනුව ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සහ ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී අතර සිදුවන මෙම ඒකාබද්ධයෙන් පිහිටුවෙන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 111,141,871ක් බවට පත්වෙයි. ඒ AMF සතු රුපියල් 56,086,280 සහ AFC සතු 244,562,500  එකතුවෙනි.

එසේම 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට පැවැති වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව AMF වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 228,091,182ක් වන අතර AFC හි එය රුපියල් 99,483,776කි.  ඒ අනුව මෙම සමාගම් දෙකම ඒකාබද්ධයෙන් පිහිටුවෙන නව සමාගමේ වෙලෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 352,472,770 කි.

එහිදී නව සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වය 16.09%ක ප්‍රතිශතයක් බවට පත් වෙයි. මීට පෙර එය AMF අතර 11.04%ක් සහ AFC අතර 5.97%ක් ලෙස බෙදී තිබුණි. එසේම අලුතින් පිහිටුවෙන සමාගමේ සමස්ත මහජන කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 1,123ක් බවට පත්වෙයි. මීට පෙරදී AMF සහ AFC අතර එම හිමිකරුවන් සංඛ්‍යාව 409ක් සහ 714ක් ලෙස බෙදී තිබුණි.

Visits: 6