ජෝර්ජ් ස්ටුවර්ට් විසින් HVA Foods PLC අත්පත් කරගැනීම ජනවාරි 20ට පෙර

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත HVA ෆුඩ්ස් පීඑල්සී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සියලු සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම අර්පණයක් (යෝජනාවක්) ඉදිරිපත් කර ඇතැයි පවසයි. 2020 දෙසැම්බර් 31 වැනිදා නිල වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කෙරී ඇත.

ඒ අනුව ලබන ජනවාරි 20 වැනිදා දක්වා දින 21ක කාලයක් මේ සඳහා  වෙන් කෙරී ඇති අතර, ජනවාරි 20 වැනිදා වනවිට මෙම ගනුදෙනුව සිදු වීමට නියමිතව ඇති බවත් මෙහිදී එක් කොටසක් රුපියල් 3.50 බැගින් අලෙවි වන බවත් අදාළ සමාගම් සඳහන් කරයි. මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 119 කි.

මෙහිදී අර්පණකරු ලෙස අංක 439, ගාලුපාර කොළඹ 03 ලිපිනයෙහි පිහිටි ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පැනි සමාගම නම් කෙරී ඇති අතර, අර්පණලාභියා ලෙස HVA ෆුඩ්ස් පීඑල්සී හි ප්‍රධාන කොටස්හිමිකරුවා වන HVA ලංකා එක්ස්පෝර්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් නම් කෙරී ඇත. සුප්‍රසිද්ධ Heladiv තේ සන්නාමය හිමි සමාගම වන්නේ HVA ෆුඩ්ස් පීඑල්සී සමාගමයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කෙරී ඇති සටහනට අනුව  HVA ලංකා එක්ස්පෝර්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (HVA ලංකා) සතුව HVA ෆුඩ්ස් පීඑල්සීහි කොටස් හතලිස් මිලියන පන්ලක්ෂ අසූ අට දහස් හාරසිය හැත්තෑ එකක් (40,588,471) හිමිය. එය සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය වන 66,428,660න් ප්‍රතිශතයක් ලෙස 61.1%ක නියෝජනයකි.

ආසන්න කාලසීමාවේදී HVA ෆුඩ්ස් පීඑල්සීහි මගින් තෙවැනි පාර්ශ්වයේ ආයෝජනයක් බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ අනුව උපායමාර්ගික ආයෝජකයෙකු ලෙස අපර්ණකරු වෙත අර්පණලාභියා සතු පාලනය අත්පත් කරගැනීමේ අවස්ථාව සලසා දී තිබේ. එහිදී HVA ලංකා සතු 51.1%ක වඩා අඩු නොවන කොටස් ප්‍රතිශතයක් අපර්ණකරු වෙත හිමි කරදීමට එකඟතාව පළ වී තිබේ.

මෙම ආයෝජනය හරහා ජෝර්ජ් ස්ටුවර්ට් ලිමිටඩ් සමාගම සතු තේ කර්මාන්තයේ විශේෂඥතා යොදා ගනිමින් HVA ෆුඩ්ස් පීඑල්සීහි මගින් සිදුකරන නව නිෂ්පාදන සහ ව්‍යාපාර ධාරිතාව දියුණු කිරීම සහ සිය වත්කම් පදනම දියුණු කිරීම සිදු කරගැනීම අරමුණ වී තිබේ.

ඒ අනුව මෙහිදී අර්පණකරු සහ HVA ලංකා මගින් ඇති කරගගෙන ඇති එකඟතාවට අනුව අර්පණකරු වෙත අර්පණලාභියාගේ කොටස් අතරින් එනම් HVA ලංකා සතු කොටස් අතරින් 51.1%ක ප්‍රතිශතයක් අත්පත් කරගැනීමේ හැකියාව පවතී. මෙය කොටස් 33,945,605ක ප්‍රමාණයකි. මෙහිදී එක් කොටසක් රුපියල් 3.50 බැගින් අලෙවි කෙරේ.

1995 (සංශෝධිත) සමාගම් අත්පත් කරගැනීමේ සහ ඒකාබද්ධ කිරීමේ කේතයේ අඩංගු කරුණු යටතේ මෙම ගනුදෙනුව සිදු වෙයි.

මෙහිදී අර්පණකරු විසින් ප්‍රසිද්ධියට පත් කෙරී ඇති ආකාරයට අර්පණලාභියා වන HVA ලංකා සමාගමේ නිකුත් කර ඇති කොටස් අතරින් 99.9%කම හිමිකාරීත්වය රොහාන් ප්‍රනාන්දු මහතා සතු වෙයි. එසේම එක් කොටසක හිමිකාරීත්වය ඔහුගේ බිරිඳ වන වරුණි එස් ප්‍රනාන්දු සතු වෙයි.

එසේම අර්පණකරු වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ 93.28%ක ප්‍රතිශතයක කොටස් හිමිකාරීත්වය දිවැස ඊක්විටි (පෞද්) සමාගමට අයත් වෙයි. මෙම දිවැස ඊක්විටි (පෞද්) සමාගමේ හිමිකරුවන් වන දිලිත් ජයවීර සතුව 40%ක කොටස් ප්‍රතිශතයක්ද, එස්.ඒ. අමරසේකර සතුව 20%ක කොටස් ප්‍රතිශතයක්ද, වරුණි ප්‍රනාන්දු සතුව 40%ක කොටස් ප්‍රතිශතයක්ද පවතී.

එසේම මෙම දිවැස ඊක්වටි (පෞද්) සමාගම සතුව අපර්ණලාභියාගේ සමාගමේ 0.143%ක කොටස් ප්‍රතිශතයක් හිමිය. එසේම ලේක්ඩ්‍රයිව් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතුව අපර්ණලාභියාගේ 0.226%ක කොටස් ප්‍රතිශතයක් හිමි අතර, වරුණි ප්‍රනාන්දු සතුව ලේක්ඩ්‍රයිව් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ 33.33%ක කොටස් ප්‍රතිශතයක් පවතී.

මෙහිදී HVA ලංකා සමාගම එකඟ වී ඇති ආකාරයට මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව HVA ෆුඩ්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන එම සමාගමේ නියෝජනයෙන් රොහාන් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමටද නියමිතව ඇත.

Visits: 724