විදුල්ලංකා වෙතින් රු. මිලියන 250 ක හිමිකම් කොටස් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විදුල්ලංකා පීඑල්සී සමාගම සිය හිමිකම් කොටස් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව පවසයි. පසුගිය දෙසැම්බර් 21 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම හිමිකම් නිකුතු යෝජනාවට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මෙම හිමිකම් නිකුතුවේදී නිෂ්ඡන්ද කොටස් 71,483,401ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි.

එහිදී සෑම සාමාන්‍ය කොටස් 11.72ක් සඳහාම එක් නිෂ්ඡන්ද කොටසක් බැගින් මෙම හිමිකම් කොටස් නිකුත්ව සිදු කෙරේ. කොටසක් රුපියල් 3.50 බැගින් සිදු කරන මෙම නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තුවන මුදල රුපියල් 250,191,903.50 කි.

මෙලෙස හිමිකම් කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් සිය නවතම වහළ මත සවි කළ සහ භූමියේ ස්ථාපිත කෙරෙන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා උපයෝගීකර ගැනීමට බලාපොරොත්තු වන බවත් සමාගම සඳහන් කරයි.

සමාගමේ හෙළිදරව් කිරීම අනුව අද වනවිට සමාගම සතු ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.4ක් (1,417,908,484.00 කි).

විදුල්ලංකා පීඑල්සී සමාගමේ මෙම යෝජිත හිමිකම් කොටස් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන සමාගමෙ මහාසභා රැස්වීමේදී කොටස්  හිමිකරුවන්ගේ අනුමැතියද ලබා ගැනීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරයි.

1997 වසරේදී පිහිටවුණු විදුල්ලංකා පීඑල්සී සමාගම අද වන විට ජල, ජෛවස්කන්ධ සහ සූර්ය පැනල යන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද ඔස්සේ විදුලිය නිපදවීමේ ව්‍යාපෘති සිදු කරමින් සිටියි. එහිදී සමාගමේ සම්පූර්ණ විදුලි ධාරිතාව මෙගාවොට් 36.25කි. එම ව්‍යාපෘති හරහා සිදු කරන සමස්ත බලශක්ති සැපයුම ගිගාවොට් පැය 150.2 කි.

සමාගම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 12කි. ඉන් ව්‍යාපෘති 10ක් ශ්‍රී ලංකාව තුළ සිදු කරමින් පවතින අතර, ව්‍යාපෘති දෙකක් උගන්ඩාව තුළ ක්‍රියාත්මක වෙයි.

Visits: 393