ට්‍රිලියන 2.9ක වත්කම්, ට්‍රිලියන 2.3ක තැන්පතු සමග ලංකා බැංකුව 2020 වසර ශක්තිමත්ව නිමා කරයි

කොවිඩ්-19 වසංගතයේ බලපෑම මධ්‍යයේ වුවද වඩාත් ශක්තිමත් ලෙස 2020 වසර නිමා කිරීමට හැකි වූ බව ලංකා බැංකුව පවසයි. ඒ අනුව වසර අවසන් වනවිට බැංකුව එතෙක් මෙතෙක් හිමි කරගත් ඉහළම වත්කම් ප්‍රමාණය වන රුපියල් ට්‍රිලියන 2.9ක වත්කම් සහ තැන්පතු පදනම වන රුපියල් ට්‍රිලියන 2.3ක් වාර්තා කිරීමට සමත් වූ බවත් ලංකා බැංකුව සඳහන් කරයි.

ගතවුනු වසරේ සිය කාර්යසාධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ කරුණු සඳහන් කර සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැවැන්තම බැංකුව ලෙසින් ලංකා බැංකුව වෙත මෙම අර්බුදකාරී වසංගත තත්ත්වය හමුවේ සිදුවුණු ආර්ථික අවපාතය නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වූ බවත් පවසා සිටියි.

එසේම අද වනවිට බැංකුව වෙළෙඳාම, මූල්‍ය සහ භාණ්ඩාගාර මෙහෙයුම්හි වෙළෙඳ පොළ ප්‍රමුඛයා ලෙස තවදුරටත් කටයුතු කරන බවත්, රුපියල් බිලියන 2.5ක් වටිනා ප්‍රේෂණ ලැබීම්ද සමගින් එහි වෙළෙඳ පොළ 40%ක හිමිකාරීත්වයක්ද ඊට ඇතුළත් බවත් බැංකුව පවසයි. එසේම බැංකු සහ මූල්‍ය අංශයන්හි වඩාත් කැපී පෙනෙන බැංකුව බවට පත් වීමටත් ලංකා බැංකුව පත්ව ඇතැයි සඳහන් කරයි.

ඒ අනුව පාරිභෝගිකයන් වෙත තමන්ගේ සියලුම බැංකු අවශ්‍යතාවන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් සහ ස්ථායි බැංකුවක් ලෙස ලංකා බැංකුව කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

විශේෂයෙන්ම වසංගත තත්ත්වය නිසා මෑතකාලීනව බැංකු වෙත එල්ල වූ පසුබැසීම ලංකා බැංකුවේ අඛණ්ඩතාව වෙත අවම බලපෑමක් එල්ල කළ බවත්,  බැංකුව සහ එහි ජාත්‍යන්තර මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වූ බවත් බැංකුව මෙහිදී අවදාරණය කරයි.

ඒ අනුව එළැඹෙන 2021 වසරේදී දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන් තවදුරටත් බැංකුව වෙත ආකර්ෂණය කරගනිමින් වඩාත් ධනාත්මක ප්‍රවේශයකින් ඉදිරියට යාමට කටයුතු යොදන බවත් ලංකා බැංකුව සඳහන් කර සිටියි.

Visits: 186