නොවැම්බර් මාසයේදී උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 නොවැම්බර් මාසයේදී 5.2%ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මනිනු ලැබූ මෙම අගයන් උපුටා දක්වමින් මහ බැංකුව මේ පිළිබඳව සඳහන් කර සිටියි.

ඒ අනුව 2020 ඔක්තෝබර් මාසයේදී පැවැති මතුපිට උද්ධමනය වූ 5.5% ට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී උද්ධමනයේ පහළ වැටීමක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසයි.  2019 නොවැම්බර් මාසයේදී පැවැති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇතැයි මහ බැංකුවේ අදහස වී තිබේ.

“ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේදී පැවැති 10.6 හි සිට 2020 නොවැම්බර් මාසයේදී 9.4% ක් දක්වා පහත බැසීමද සිදුව තිබේ. එහෙත් ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේදී පැවැති 1.5 සිට 2020 නොවැම්බර් මාසයේදී 1.7% ක් දක්වා ඉහළ ගොස් තිබේ.”

මේ අතර 2020 නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 0.47% ක් ලෙස වාර්තා වී තිබේ. එහිදී ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

එසේම 2020 නොවැම්බර් මාසයේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙලින් 0.34% ක් සහ 0.13% ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව 2020 නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ප්‍රධාන වශයෙන් සහල්, ලොකු ලූණු, පොල් සහ අර්තාපල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබී ඇත. මීට අමතරව 2020 නොවැම්බර් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ ප්‍රවාහන (බස්ගාස්තු) උපකාණ්ඩයෙහි මිල ගණන්වල ඉහළ යෑමක් වාර්තා කර තිබේ.

Visits: 123