රංග අබේනායක සීඩීබී ෆිනෑන්ස් සභාපති ධුරයට සමුදීමට යයි

සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ධුරය දැරූ රංග අබේනායක මහතා එම ධුරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව එම සමාගම පවසයි. ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් 31 වැනිදා සිට ඒ මහතා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වීමට නියමිතව තිබේ. එම දිනය වනවිට අබේනායක මහතා සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තුළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර 9ක සේවාකාලයක් සම්පූර්ණ කිරීම මෙලෙස ධුරයට සමුදීමට හේතුව වී තිබේ.

2012 වසරේ ජනවාරි මාසයේදී විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සිටිසන් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම හා සම්බන්ධ විය. පසුව 2019 සැප්තැම්බර් මාසයේදී ඔහු එහි සභාපතිවරයා බවට පත්විය.

රංග අබේනායක මහතා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, එම සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙසද කටයුතු කරයි. එසේම ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සීහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

Visits: 131