S &P SL20 දර්ශකයේ ලැයිස්තුගත සමාගම් අද සිට වෙනස් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකයේ ලැයිස්තුගත කෙරී ඇති සමාගම් 7ක් අද දිනයේ සිට ඉන් ඉවත්වීමක් සිදු වන බවත් ඒ වෙනුවට වෙනත් සමාගම් 7ක් ඊට ඇතුළත් කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ඩෝව් ජෝන්ස් දර්ශකය මගින් 2020 වසරේ අවසානයත් සමගින්ම සිදු කරන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයේ සමතුලිතකරණය යටතේ මෙලෙස සමාගම් ඉන් ඉවත් කිරීම සහ ඇතුළත් කිරීම සිදුව තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු නිමාවීමෙන් අනතුරුව අද දිනයේදී ආරම්භයත් සමගින්ම මෙම සමාගම් වෙනස් කිරීම බලාත්මක වෙයි.

කොළඹ කොටස් හුවමාරුව මගින් සඳහන් කරන ආකාරයට මෙම ඉවත්වීම යටතේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී, සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී, එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී, ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී, රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සහ සෙලාන් බැංකුව මෙලෙස S&PSL20 දර්ශකයෙන් ඉවත් වන සමාගම් වෙයි.

එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, හේලීස් පීඑල්සී, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සහ ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී යන සමාගම් S&PSL20 දර්ශකය වෙත එකතු වී තිබේ.

වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ සමස්තය ඇතුළුව තවත් කාරණා කීපයක් පදනම් කරගනිමින් විශාලතම සමාගම් අනුව මෙම S&P Sri Lanka 20 දර්ශකය සකස් කෙරේ. එහිදී සමාගම් 20ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

මෙය GICS (Global Industry Classification Standard) නම් ජාත්‍යන්තර ප්‍රමිතීත්ට අනුව මෙම කොටස් වර්ගීකරණය කෙරෙමින් සැකසෙන්නකි. එහිදී ජාත්‍යන්තර S&P Dow Jones දර්ශකය අනුව 2020 වසර අවසාන දර්ශක සමතුලිත කිරීම යටතේ මෙය සිදු කෙරේ.

2017 මාර්තු මාසයේදී පිහිටවුණු මෙම S&P Sri Lanka 20 දර්ශකය සකස් කිරීමේ සම්ප්‍රදාය මේ වනවිට අර්ධවාර්ෂික ආකාරයෙන් පවත්වාගෙන එයි. මීට පෙර එය වාර්ෂිකව සකස් කිරීම සිදු විය. සෑම වසරකම ජූනි සහ දෙසැම්බර් මාසවලදී මෙම දර්ශකය වෙත අලුතින් සමාගම් එකතුවීම සහ ඉවත් වීම සිදු වෙයි.

ඒ අනුව දර්ශකයේ සිදුවූ මෙම ඉවත්වීම් සහ ඇතුළුවීම් දෙසැම්බර් 21 වැනිදා සඳදා සිට බලාත්මක වන බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ කොටස් හුවමාරුවේ මෙම නව S&P Sri Lanka 20 දර්ශකය සහ ඊට අදාළ සමාගම් සහ එම කොටස්හි සංකේත පහත දැක්වෙයි.

Visits: 408