S&P SL20 දර්ශකයේ සමාගම් වෙනස වෙළෙඳ පොළට ජීවයක් දෙයි

අද දිනයේදී (දෙසැ 21) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිටම ඉහළ ගැනුම්බරතාවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම අද දිනයේ සිට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය වෙත එකතුවුණු සමාගම් සඳහා වන ආයෝජන ආකර්ෂණය ඉහළ යාමත් සමග එම සමාගම්වල කොටස් වටිනාකම් ඉහළ යාම සිදු විය. කෙසේ වෙතත් ආයෝජකයන් තුළ බැංකු සහ අනෙකුත් මූල්‍ය අංශයේ සමාගම් වෙතින් ලාභ ඉපැයීමේ අපේක්ෂාවක් පැවතීමත් සමගින්ම මෙම ගැනුම්බරතාව දිනයේ අවසන් අදියරේදී පසුබැසීමක් පෙන්නුම් කළ බවත් එම තැරැව්කාර සමාගම් වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,620.27ත් ඒකක 6,646.08ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI)  දිනය නිමා වනවිට එය ඒකක 6,622.71 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (දෙසැම්බර් 18) දිනයට සාපේක්ෂව එය ඒකක 5.76 ක් එනම් +0.09%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 2%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 86ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 89ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+6.3), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4),  ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සී TKYO (+2.8),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.7),  එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+2),  සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී  CTC (-5),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.5), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.5),  ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.9), කොමර්ෂල් බැංකුව COMB (-1.5)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,580.21 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (දෙසැම්බර් 18) දිනයට සාපේක්ෂව ඒකක 7.26 ක එනම් +0.28%ක ඉහළ යාමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (දෙසැ 18දා) වාර්තා කළ රුපියල් බිලියන 1.72ට සාපේක්ෂව 51% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම ගැනුම්කරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.51%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 123.5ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 104.3ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 19.2කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 50.23ක් ලෙස සටහන්ව තිබේ.

දිනය තුළ විදේශයන්හි සිට විදේශයන් දක්වා සිදු වූ ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 31.57කි.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 64.3කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 28.6ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 748ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල්  මිලියන 686ක සහ රුපියල් මිලියන 551ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 131