අසිත තල්වත්ත කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස අසිත තල්වත්ත මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 දෙසැම්බර් 18 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. තල්වත්ත මහතා කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හිමි කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සීහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

අසිත තල්වත්ත මහතා ශ‍්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CASL) සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි. ඔහු ඕලන්දයේ (නෙදර්ලන්තයේ) වාගෙනින්ගන් විශ්ව විද්‍යාලයෙන් සහ ICASL වෙතින් ව්‍යාපාර හා මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලබා ඇති අතර සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ලබාගෙන ඇත.

ඒ මහතා වසර 37 කට වැඩි කාලයක් Ernst & Young සමාගම සමඟ වැඩ කර ඇති අතර ඉන් දශකයකට වැඩි කාලයක් කළමනාකරණ සහකරු ලෙස කටයුතු කළේය. ඔහු මහජන බැංකුවේ සහ SME( සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක) බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා දැනට Management Systems Ltd සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.

තවද, Diesel & Motor Engineering PLC, Sunshine Holdings PLC, Tokyo Cement Lanka PLC, CT Holdings PLC, Chevron Lubricants Lanka PLC and Lanka Hospitals PLC ඇතුළු තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයන්හි සේවය කරයි.

2019 මාර්තු 31 වැනිදා වනවිට කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 99.34%කම ප්‍රතිශතයක් හිමිව ඇත්තේ කාර්ගිල්ස් කොලිටි ඩේරීස් පෞද්ගලික සමාගම වෙයි. එය කොටස් ප්‍රමාණය ලෙස 31,192,462 කි. එසේම කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී වෙත කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ හිමි කොටස් සංඛ්‍යාව 54,315ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 0.17% කි.

කොත්මලේ නිම්නය ආශ්‍රිතව පිහිටි පතන, බෝගහවත්ත ප්‍රදේශයේදී 1967 වසරේදී Lambretta (Ceylon) ලෙස මෙම කොත්මලේ හෝල්ඩිංග්ස් සමාගම ආරම්භ  විය. එහි මුල් හිමිකරුවන් වන්නේ ෂාෆ්ටර් පවුලයි. එය කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී ලෙස හැඳින්වුණි. 2010 වසරේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන කාර්ගිල්ස් කොලිටි ෆුඩ්ස් විසින් රුපියල් මිලියන 900කට එහි 73%ක කොටස් ප්‍රමාණයක් තමන් සතු කර ගැනීමට සමත්වීමත් සමගම එය කාර්ගිල්ස් සමාගම  යටතට පත්විය.

එසේම 2014 වසරේ මාර්තු මාසය අවසන් වන විට කාර්ගිල්ස් සමාගම කොත්මලේ හෝල්ඩිංග්ස් සමාගමේ  කොටස් තවදුරටත් මිලට ගනිමින් තමන් සතු සම්පූර්ණ කොටස් ප්‍රතිශතය 94.69%ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. අද වනවිට කාර්ගිල්ස් කොලිටි ඩේරීස් (පෞද්ගලික) සමාගම හරහා එම ප්‍රතිශතය 99.34% ක් බවට පත්ව තිබේ.

අද වනවිට කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත අනුබද්ධිත සමාගම් ලෙස කොත්මලේ ඩේරි ප්‍රඩක්ට්ස් (පෞද්ගලික) සමාගම, සීමාසහිත කොත්මලේ මිල්ක් ප්‍රඩක්ට්ස් සමාගම, සීමාසහිත කොත්මලේ මිල්ක් ෆුඩ්ස් සමාගම සහ සීමාසහිත කොත්මලේ ප්‍රඩක්ට්ස් යන සමාගම් පවතී.

Visits: 99