ඇමෙරිකාවේ MCC ප්‍රදානයෙන් ලංකාව ඉවත් කරයි?

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහග්‍ර අභියෝගතා සහයෝගිතාව (MCC) මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට යෝජනා කර තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානය ඉවත් කරගැනීමට තීරණය කෙරී ඇතැයි වාර්තා වෙයි. පසුගිය අඟහරුවාදා එක්සත් ජනපදයේදී පැවැත්වුණු එම සහයෝගිතාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙන බව පුවත වාර්තා කරන ඩේලිඑෆ්ටී පුවත්පත පවසයි.

කෙසේ වෙතත් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් පුවත්පත සිදුකළ විමසීමේදී ඊට පිළිතුරක් ලැබී නොමැති අතර, අද පෙරවරුවේදී ඒ පිළිබඳ නිල නිවේදයක්  හරහා දැනුම් දෙන බවත් එහි නිලධාරීන් පුවත්පත වෙත පවසා ඇත.

 මතභේදයට තුඩු දී තිබූ මෙම සහශ්‍රක අභියෝගතා සහයෝගිතා එකඟතාව සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා  පැවැත් වූ අතර, වත්මන් රජය මගින් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සිව් පුද්ගල කමිටුවක්ද පත්කර තිබුණි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පත් වූ මෙම කමිටුවේ ප්‍රධානත්වය මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වෙත හිමිව තිබුණි.

එහිදී මෙම එකඟතාවේ ඇතුළත් ඇතැම් කරුණු ජාතික ආරක්ෂාව වෙත තර්ජනයක් එල්ල කරන බවට මෙන්ම ඒවා ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික යහ පැවැත්ම වෙතද හානිදායක බව අවධාරණය කෙරිණි. කෙසේ වෙතත් එකඟතාවට අදාළ යම් කාරණා සංශෝධනයට ලක් කරමින් එය ඉදිරියටත් පවත්වාගනෙ යාම සඳහා වන උපදෙස් ලබා දීමක්ද එහිදී සිදුව තිබුණි.

MCC අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2019 වසරේදී ශ්‍රී ලංකාව වෙත අනුමත කෙරුණු මෙම එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල් ප්‍රමාණය මගින් කොළඹ නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය, ඉඩම් කළමනාකරණය කරමින් කෘෂිකර්මාන්ත, සේවා අංශය සහ කාර්මික ආයෝජකයන් ඉඩම් සඳහා ප්‍රවේශය ලබා දීම ඇතුළු කාරණා විය.

එහිදී මෙම ව්‍යාපෘතිය එක්සත් ජනපද රජයට මෙරට ඉඩම් අත්පත් කරගැනීම සඳහා සහ ශ්‍රී ලංකා භූමියේ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා වන රහසිගත මෙහෙයුමක් බවටද බියක් මතුව තිබුණි.

කෙසේ වෙතත් මෙම එකඟතාව හරහා මෙරටට හිමිවීමට නියමිතව තිබූ මෙම එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානය මෙරට සංවර්ධනය සඳහා අතිශය වැදගත් අවස්ථාවක් වූ බවටද ඇතැම් පිරිස් අදහස් දක්වා තිබුණි.

Visits: 188