ලෙෂර් අංශය සඳහා වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ආයෝජන ඉදිරියටත්

එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ඉදිරියේදී ආගන්තුක සත්කාර ඇතුළත් හෝටල් ඇතුළු ලෙෂර් ක්ෂේත්‍රය සඳහා ඉතාමත් ප්‍රවේශමෙන් ආයෝජන සිදු කිරීමේ උපායමාර්ගික ක්‍රමවේදයක් අනුගමනය කරන බව පවසයි.

අද වනවිට කෘෂිකාර්මික, වැවිලි සහ ලෙෂර් යනාදී අංශ වෙත ආයෝජන සිදු කිරීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කටයුතු යොදා තිබේ. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමෙ එල්ඕඑල්සී සමූහයේ ආයෝජන හස්තලය ලෙසින්ද සැලකෙයි. එහිදී සමාගමේ නවතම ආයෝජනය ලෙස පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව තිබූ සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමේ වැඩි කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පියවර ගෙන තිබුණි.

ඒ අනුව අද වනවිට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතු ලෙෂර් අංශයේ ව්‍යාපාර වෙත සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සමාගම සතුව තිබූ ක්ලබ් හොටෙල් ඩොල්ෆින්, හොටෙල් සීගිරිය, අවානි බෙන්තොට රිසෝට් සහ ලැන්ටර්න් බීච් කලෙක්ෂන්, මිරිස්ස ඇතුළු හෝටල් අලුතින් එක්ව තිබේ.

එසේම මෙතෙක් කලක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතුව ලෙෂර් අංශයේ ආයෝජන කළඹ තුළ ද ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා බේරුවල, ද පැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්පා ඉන් දඹුල්ල, ද කාම් රිසෝට් ඇන්ඩ් ස්පා ඉන් පාසිකුඩා සහ දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා, මැරියට් සමූහය මගින් කළමනාකරණය කරනු ලබන ෂෙරටොන් කොස්ගොඩ ටර්ටල් බීච් රිසෝට් සහ කාමර 375 කින් සමන්විතව අලුතින් ඉදිකෙරෙන රිවෙරිනා රිසෝට් ඉන් බේරුවලද ඊට අයත් වෙයි.

ශ්‍රී ලංකාව අමතරව බ්‍රවුන්ස් ඉන්සේට්මන්ට්ස් පීඑල්සී සමාගම මාලදිවයින තුළත් ලෙෂර් අංශයේ ආයෝජන සිදු කර තිබේ. ඒ අනුව දැනටමත් ඉදිකෙරෙමින් පවතින මාලේ නගරයේ පිහිටි නසාන්දුරා පැලස් හොටේල් සහ බොඩුෆිනොල්හු ඉන් ද ආරි ඇටොල් ඒ අතර වෙයි. ඉන් නසන්දුරා පැලස් හෝටලය මේ වනවිට ඉදිකිරීම්හි අවසන් අදියරේ පවතින බවත් වසර 2021 වන විට එහි වැඩ නිම වන බවත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී පවසයි.

සුඛෝපභෝගී නිවාස 118 කින් සමන්විතව මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරෙන මෙහි පිහිටි තරු පහ පන්තියේ හෝටලය කාමර 135 කින් සමන්විත වෙයි. එසේම  බොඩුෆිනොල්හු ඉන් ද ආරි ඇටොල් තරු හතර පන්තියේ හෝටලයකි. එයද 2021 වසරේදී වානිජ මෙහෙයුම් සඳහා සූදානමින් සිටියි. වෝටර් විලාස්, බීච් විලාස් සහ බීස් සූට් ඇතුළු කාමර 100ක් මෙහි ඇත.

මේ අතර එල්ඕඑල්සී සමූහය බ්‍රවුන්ස් ඉන්වෙන්ස්මන්ට් හරහා මාලදිවයිනේ උතුරු මාලේ, බොඩාෆුරු, කාෆු ඇටොල් යන දූපත් තුන කල්බදු හිමිකම් යටතේ මිලදී ගෙන ඇති අතර ඒවා තුළ තරු පහ පන්තියේ හෝටල් තුනක්  ඉදිකිරීමට නියමිතව ඇති අතර සමස්ත කාමර සංඛ්‍යාව 470 කි.

මීට අමතරව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම දැනමත් ලොව විශාලතම හෝටල් මෙහෙයුම් දාමයක් වන බාර්සෙලෝ සමාගම සමගින් කළමනාකරණ එකඟතාවකට පැමිණ ඇති අතර ඒ හරහා සිය ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා කළමනාකරණය එම සමාගම වෙත ලබා දීමට කටයුතු යොදා ඇත. එසේම පැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්පා, නසන්දුරා සහ බොඩුෆිනොල්හු හෝටල්ද එම සමාගම යටතේ කළමනාකරණය කෙරේ. මේ අතර බාර්සෙලෝ සමාගම දැනටමත් බොඩුෆාරුහි දූපත් තුනක හෝටල් ව්‍යාපෘතිය වෙත 30෴ක කොටස් ආයෝජනයක්ද සිදු කර තිබේ.

ඒ අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මගින් සිදුකළ මෙම නව ආයෝජනයත් එම සමාගම ලෙෂර් ක්ෂේත්‍රය තුළ සිදුකරන ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමක් වන අතර, මෙය කොවිඩ්-19 වසංගතයෙන් පසු තත්ත්වයේදී එම ක්ෂේත්‍රය තුළ පෙන්වන ශක්තිමත් වර්ධනය සහ 2021 වසරේ අගභාගයේදී පමණ පෙන්වන ගම්‍යතාවයේ වර්ධනය පෙන්නුම් කරන අවස්ථාවක් බවත් සමාගම පවසා සිටියි. එහිදී මෙම නව ආයෝජනය ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ සිය සමාගමේ ලෙෂර් අංශයේ ආයෝජන කළඹ තවත් ශක්තිමත්ව ගොඩනැගීම සඳහා වන සමාගමේ දිගුකාලීන උපායමාර්ගය වෙත දායකත්වයක් ලබා දෙනු ඇතැයිද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වැඩිදුරටත් පවසයි.

Visits: 609