DFCC බැංකුව ADFIAP 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව 2020 Development Financing Institute in Asia and the Pacific (ADFIAP) Sustainability Development සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. 43 වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, මේ වනවිට ලොව පුරා පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අතථ්‍ය (Virtual) උත්සවයක් ලෙස පැවැත්විණි.

මෙහිදී  ‘විශිෂ්ටතම සංවර්ධන ව්‍යාපෘති සම්මාන’ යටතේ කුසලතා සම්මාන දෙකක් හිමිකරගැනීමට DFCC බැංකුව සමත් විය. මේ අතරින් ප‍්‍රථම සම්මානය, ‘මානව ප‍්‍රාග්ධන සංවර්ධන’ කාණ්ඩය යටතේ, DFCC බැංකුව ක‍්‍රියාවට නැංවූ ‘Together We Grow’ ව්‍යාපෘතිය වෙනුවෙන් හිමිවූ අතර දෙවැනි සම්මානය ‘ආයතනික ප‍්‍රජා සත්කාර’ කාණ්ඩය යටතේ,‘සැමට ඉංග‍්‍රීසි’ ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන ලදි.

1997වසරේදී ADFIAP විසින් පිලිපීනයේ මැනිලා නුවරදී ‘සංවර්ධන මූල්‍ය පිළිබඳ සම්මේලනය’ පැවැත්වූ අවස්ථාවේදී ADFIAP සම්මාන වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉන් අනතුරුව එය වාර්ෂික සම්මාන උළෙලක් බවට පත්විය. ADFIAP ‘විශිෂ්ටතම සංවර්ධන ව්‍යාපෘති සම්මාන’ උළෙලේදී, අදාළ රටවල සංවර්ධනයට සාධනීය බලපෑමක් අතිකිරීමට සමත් වූ ව්‍යපෘති මෙහෙයවූ හෝ එබඳු ව්‍යාපෘති වලට සහය දුන් සාමාජික සමාගම් හා ආයතන වලට සම්මාන පිරිනැමේ.

‘සැමට ඉංග‍්‍රීසි’ යනු, මෙරට තරුණ පරපුර අතරින් අත්වැලක් අවශ්‍ය පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ගේ ඉංග‍්‍රීසි දැනුම දියුණු කර ඔවුන්ට ශ‍්‍රම බලකායට ඇතුළු වීමට දොරටු විවර කර දීම සඳහා 2017 වසරේදී ආරම්භ කරන ලද සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙම වැඩසටහනට නවීන පහසුකම් සහිත පන්තිකාමර වලදී නොමිලයේ සිදුකරනු ලබන ඉගැන්වීම් මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්, ඉදිරිපත් කිරීම් සහ කුසලතා සංවර්ධන කටයුතුද ඇතුළත් වේ. මූලික වශයෙන් ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්ක වල ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2018 වසරේදී කුරුණෑගල, මහනුවර සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක වෙතද, 2019 වසරේදී යාපනය, පොළොන්නරුව, රත්නපුර සහ අම්පාර යන දිස්ත‍්‍රික්ක වෙතද ව්‍යාප්ත කරනු ලැබිණි.

‘Together We Grow’ ව්‍යාපෘතිය DFCC කාර්ය මණ්ඩලයේ චින්තන රටාව වැඩිදියුණු කර ඔවුන්ගේ සාමූහික චින්තනයේ සාධනීය වෙනසක් ඇතිකිරීම සහ එදිනෙදා ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී ඉදිරියටම යන ආකල්ප ඔවුන් තුළ ඇතිකිරීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. තමන්ට නිසි ඇගයීමක් හා ආරක්ෂාවක් ලැබෙන බවට කාර්ය මණ්ඩලය තුළ හැඟීමක් ඇතිවන ආකාරයේ ප‍්‍රසන්න රැකියා වටාපිටාවක් නිර්මාණය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසකගේ දායකත්වය සමගින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවිණි.

මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා. “DFCC බැංකුවට මෙසේ සම්මාන හිමිවීම අපට විශාල සතුටක්. ඒ වගේම සමාජයේ සහ අපගේ කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් අප ක‍්‍රියාවට නැංවූ වැදගත් ව්‍යාපෘති දෙකක් මෙලෙස ඇගයීමට ලක්කිරීම සම්බන්ධයෙන් ADFIAP වෙත අපගේ ස්තූතිය පිරිනැමීමට මා කැමතියි. DFCC බැංකුව කවදත් අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් නව වටිනාකම් නිර්මාණය කිරීම සඳහා සාම්ප‍්‍රදායික සීමාවන් ඉක්මවා යාමට සූදානමින් සිටින බැංකුවක්. ‘සැමට ඉංග‍්‍රීසි’ වැඩසටහන නිසා තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග‍්‍රීසි දැනුම සමගින් තමන් කැමති ක්ෂේත‍්‍රයක රැකියාවක් ලබාගැනීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

ඒ වගේම, ‘Together We Grow’ සංකල්පය DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයේ සේවා මට්ටම වැඩිදියුණු වීමට හේතු වී ඇති අතරම එය යහපත් රැුකියා පරිසරයක් නිර්මාණය කරමින් DFCC බැංකුවේ සාමාජිකයෙකු හෝ සාමාජිකාවක වීම ගෞරවණීය දෙයක් බවට පත්කර තිබෙනවා. අපගේ උත්සාහයන් අගය කිරීම සම්බන්ධයෙන් නැවත වරක් ADFIAP වෙත අපගේ ස්තූතිය පළකර සිටින අතර, මෙම සම්මාන වල ගෞරවය වෙහෙස නොබලා විශිෂ්ටත්වය හඹා යන DFCC කාර්ය මණ්ඩලය වෙත හිමිවිය යුතු බව අවධාරණය කිරීමටත් මා කැමතියි.” යනුවෙන් පවසයි.

Visits: 65