ICTA සභාපති ජයන්ත ද සිල්වා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති (ICTA) ජයන්තද සිල්වා මහතා තාක්ෂණික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇතැයි එම ආයතනය පවසයි. මෙම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතින්නකි.

මෙම තාක්ෂණික අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA), ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT), ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT), ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය (SLINTEC), සියලුම තොරතුරු තාක්ෂණික උද්‍යාන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI)  මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද අයත් වෙයි.

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 30කට අධික අත්දැකීම් සහිත ජයන්තද සිල්වා මහතා, එම ක්ෂේත්‍රය තුළ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විශාල කාර්ය භාරයක් සිදු කළ අයෙකු බව  පිළිගැනීමට ලක්ව ඇත.

බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි (BCS) හි සභාපතිවරයා වන ජයන්තද සිල්වා මහතා මීට පෙරද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කර ඇත. එසේම ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනය ආයතනයේ (UCSC) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානයේ (SLASSCOM – Sri Lanka Association of Software and Service Companies) ආරම්භක සාමාජිකයෙකු මෙන්ම හිටපු සභාපතිවරයෙකුද වෙයි. එසේම ඒ මහතා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි.

මේ අතර ඒ මහතා, පසුගියදා ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරිං පීඑල්සී (DIMO) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කෙරිණි.  ඒ අනුව ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස නම් කෙරී තිබේ.

Visits: 103