“නිර්භයව ආයෝජන කරමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන්න.” ජනපති පෞද්ගලික ව්‍යවසායකයන්ට පවසයි

ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන්ට පවසයි.

ජනපතිවරයා මහතා මේ අදහස් පළ කළේ ඊයේ (01) කොළඹ දී ආරම්භ වූ  “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020” (Sri Lanka Economic Summit 2020) වෙත වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ද වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, “පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිමයි. මේ කීර්තිනාමය යතාර්ථයක් වීමට නම් ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීම වෙනුවට පෞද්ගලික අංශය වැඩි ප්‍රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන කළ යුතු වෙනවා.” ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් වෙත පවසා ඇත.

විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතය හමුවේ අඩාල වූ ආර්ථිකයේ පුනර්ජීවනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා සිය නායකත්වයෙන් යුත් රජය හඳුන්වාදී ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පැහැදිළි කළ ජනපතිවරයා, ජනතා අභිලාෂයන් මැනවින් ආමන්ත්‍රණය කළ හැකි පරිදි පෞද්ගලික අංශයේ පූර්ණ ධාරිතාව උපයෝගී කර ගැනීමට ඉවහල්වන අයුරින් සිය වගකීම් ඉටු කරන බව පවසා ඇත.

2021 අය වැය ලේඛනයෙන් මේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන ප්‍රවේශ ගණනාවක් හඳුන්වාදී ඇතැයිද  ජනපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. ඒ අනුව එම අරමුණ කරා ළගාවීම පිණිස අපේ නවක ව්‍යවසායකයන් සහ පිළිගත් සමාගම් නව ඉසව් සොයා යාම ආරම්භ කළ යුතු බවද එතුමා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020” මෙවර සං විධානය වී තිබුණේ 20 වැනි වතාවටයි. “ජනතාවාදී ආර්ථික පුනර්ජීවනයකට මග පාදමු” යන්න මෙවර සමුළුවේ තේමාව විය.

මෙහිදී ඉන්දීය ජනරජයේ මුදල් හා ව්‍යාපාර කටයුතු ඇමතිණි ශ්‍රීමති නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රධාන දේශනය සිදු කළාය. එසේම ප්‍රධාන පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයෝ, ව්‍යාපාරිකයෝ සහ අන්තර්ජාතික ආර්ථික ක්ෂේත්‍රයේ නියෝජිතයෝ දෙදින සමුළුවට සහභාගි වී සිටිති.

මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, “ශක්තිමත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා වේදිකාව සැකසීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික දෙඅංශය අතර හවුල්කාරීත්වය අවශ්‍ය වෙනවා. විවිධ ක්ෂේත්‍රවල අපගේ සියලු ප්‍රවේශයන් කේන්ද්‍රීය දැක්මක් මත පදනම්ව පැහැදිලි අරමුණු හා ක්‍රියාකාරී සැලසුම් ඔස්සේ මෙහෙයවනු ලබන බවට සහතික විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය එළඹෙන සියලුම ප්‍රවේශයන් අපගේ වර්ධන මාවත තහවුරු කිරීමට දායක විය යුතුය”. යනුවෙන් පවසා තිබේ.

එහිදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සකස් කර ඇති ආර්ථික රාමුව අගය කිරීමක්ද සිදු කර තිබේ. විශේෂයෙන්ම සමුළුවට සහභාගීවන විද්වතුන්, දේශකයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛයන් සහ රජය එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනාත්මක පරිවර්තනයක් ඇති කළ හැකි බවට එතුමා විශ්වාසය පළ කළේය.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පිළිගැනීමේ කථාව කළේය. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සමුළුවට එක්ව සිටියේය.

Visits: 271