විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ වලංගු කාලය 2021 අප්‍රේල් 07 දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ්-19 වසංගතයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක වූ ජාතික ප්‍රයත්නයට සහාය දීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින්  හඳුන්වාදී ඇති විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව 2021 අප්‍රේල් 07 දක්වා දීර්ඝ කර ඇතැයි මහ බැංකුව පවසයි. එහි මුදල් මණ්ඩලයේ නිර්දේශ මත මෙම කල් දිගු කිරීම සිදුව තිබේ.

2020 අප්‍රේල් 08 වැනිදා රජයේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දී තිබුණි. ලොව ඕනෑම මුදල් ඒකකයක් යටතේ සිදු කළ හැකි මෙම තැන්පතු මුදල්වල ප්‍රභවය පිළිබඳව නොවිමසීමත්, ඒවා සඳහා දැනට පවතින පොළී අනුපාතවලට වඩා 1% – 2%ක වැඩි පොළියක් ලබාදීමත් සිදුකිරීම එහි විශේෂත්වය විය. ඒ අනුව 2020 ඔක්තෝබර් 07 වැනිදා වන විට මෙලෙස විවෘත කෙරුණු ගිණුම් තුළ ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 272ක් වූ බව මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගේනාව ගැනීමට  මෙම විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇති විය හැකි ධනාත්මක බලපෑම සලකා බලා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත මෙලෙස එම විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව මෙම විදේශ විනිමය  රට තුළ රඳවා තබා ගැනීමෙන් ඇති වන යහපත් බලපෑම සලකා බලා, ශ්‍රී ලංකා රජය, විශේෂ තැන්පතු ගිණුම් කල්පිරීමේදී ඒවා තවදුරත් පවත්වාගෙන යාමට අදහස් කරන විශේෂ තැන්පතු හිමියන්ට, බලයලත් වෙළෙඳුන් සමග සාමාන්‍ය තැන්පතු ලෙස අලුත් කර ඉදිරියට පවත්වාගෙන යාමටද අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව මෙම විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.dfe.lk වෙත පිවිසීම මගින් ලබා ගත හැකි බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 265