නිෂ්පාදන අංශ සමාගම් වෙත පිට පිට හයවැනි දිනටත් ඉල්ලුම වැඩිවෙයි

පිට පිට හයවැනි දිනටත් නිෂ්පාදන අංශයේ සමාගම් වෙත පැවැති මිලදී ගැනීමේ ප්‍රවණතාවත් සමගින් අද දිනයේදී (දෙසැම්බර් 01දා) ගනුදෙනු තවදුරටත් ධනාත්මක ආකාරයෙන් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම බැංකු අංශයේ වත්කම් ඉහළයාම සහ ලබන මුදල් වසරේදී ලාභාංශ ලබා  දෙන බවට වන සඳහන් කිරීමත් සමගින්ම අද දිනයේදී බැංකු අංශයද කැපී පෙනෙන  වර්ධනයක් පෙන්නුම් කළ බව එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,256.45ත් ඒකක 6,333.25ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,317.46 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 30) දිනයට සාපේක්ෂව එය ඒකක 73.70 ක් එනම් +1.18%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 5෴ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 156ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 47ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.00), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+4.00),  කොමර්ෂල් බැංකුව COMB (+3.77),   හැටන් නැෂනල් බැංකුව HNB (+3.66),  එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී AHUN (+3.31), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.16), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-1.34),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-0.95), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-0.72), අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී AGAL (-0. 43)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,497.92 ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ (නොවැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 44.05 ක එනම් +1.80%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.53ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 30දා) වාර්තා කළ රුපියල් බිලියන 2.4ට සාපේක්ෂව 5%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.76ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 3.17%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 84.47ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 160.43 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 75.96කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.08ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 23.49කි. එසේම ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 59.65ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 772ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 31% ක අගයක් ගෙන තිබේ. ආහාර, පානවර්ග හා දුම්කොළ අංශ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 495ක සහ රුපියල් මිලියන 440ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 199