‘නැට්වෙල්ත් සෙකියුරිටීස්හි’ ප්‍රාථමික අලෙවි බලපත්‍රය ඉවත් කරගනියි

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම (Nat wealth Securities Limited) වෙත රජයේ සුරැකුම්පත් ගනුදෙනුවල ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා ලබා දී තිබූ පත් කිරීම ඉවත් කරගත් බව මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

එම සමාගම විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදු කර තිබෙන බව මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව 2020 නොවැම්බර් 30 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි නැට්වෙල්ත් සෙකියුරිටීස් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කටයුතු කිරීමට ලබා දී තිබූ පත් කිරීම අවලංගු කෙරෙන බව මහ බැංකුව සඳහන් කරයි.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට අයත් නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් (National Wealth Corporation Limited) සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එහි නියාමකයා ලෙස කටයුතු කරයි. 2003 වසරේ ජූනි 23 වැනිදා සිට එය රජයේ සුරැකුම්පත් ගනුදෙනුවල සුවිශේෂී ප්‍රාථමික ගනුදෙනුකරුවා ලෙස නම් කිරීමටද මහ බැංකුව කටයුතු යොදා තිබුණි.

මෙම කාලසීමාව තුළදී නැට්වෙල්ත් සෙකියුරිටීස් මගින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ඇතුළු ආයෝජන අවස්ථා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් 2019 මැයි 30 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පළමුවරට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ප්‍රාථමික ගනුදෙනු අවස්ථාවන් මාස හයක කාලයකට අත්හිටුවීමට පියවර ගැනුණි. එහෙත් පසුව 2019 නොවැම්බර් 29 වැනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණයකට අනුව එම අත්හිටුවීම අහෝසි කිරීමට කටයුතු යෙදිණි.

කෙසේ වෙතත් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් යළි ගත් තීරණයකට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 ජූනි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස හයකට කාලයකට අත්හිටුවීමටද පියවර ගෙන තිබුණි.

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූලවීමට අඛණ්ඩව නොහැකිවීම මෙම අත්හිටුවීමට හේතුව විය.

ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමෙහි ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් අත්හිටුවීම සිදු කෙරෙන බව මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කර තිබුණි.

2018 වසරේදී එවකට පැවැති රජයේ කැබිනට් මණ්ඩලය මගින් නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සහ නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් යන සමාගම්වල මෙහෙයුම් නවත්වා දමා එම සමාගම් ඈවර කිරීමටද යෝජනා ඉදිරිපත් කර තිබූ බව මාධ්‍ය වාර්තා පවසයි. ඒ සඳහා වන යෝජනාව එවකට උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින්  ඉදිරිපත් කරන ලදි.

Visits: 228