සාර්ථක ගනුදෙනු දිනයක් සමගින් නොවැම්බරය නිමා කරයි

සමාගම් බොහෝමයකම මිල ගණන් ඉහළ යාමේ අවස්ථාවන්ද සමගින්ම අද දිනයේදී  (නොවැම්බර් 30) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේ සිටම ධනාත්මක නැඹුරුවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම නිෂ්පාදන සහ විවිධාංගීකරණය වූ අංශයන්හි මිල ගණන් එලෙස ඉහළ ගොස් ඇත.

එසේම අඩු තැන්පතු පොළී අනුපාතවලට සාපේක්ෂව සමාගම් විසින් ලබා දෙන ඉහළ ලාභාංශ පිළිබඳ වන ආකර්ෂණයද ගනුදෙනු සාර්ථකවීමට දායකත්වය ලබා දී ඇත. මේ අතර විදේශ ආයෝජකයන් වටිනා සමාගම්වල කොටස් සඳහා වන උනන්දුව  ඉහළ යාමත් සමගින්ම විදේශ ආයෝජන පිතට ගලායාම්ද යම් ප්‍රමාණයකින් අඩු වූ බව මෙම තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,191.76ත් ඒකක 6,249.46ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,243.76 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (නොවැම්බර් 27) දිනයට සාපේක්ෂව එය ඒකක 62.90 ක් එනම් +1.02%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව කිසිදු ගනුදෙනුවක් සිදු ව නොමැති අතර, දිනයේ පිරිවැටුම සඳහා සාමාන්‍ය ගනුදෙනු දායකත්වය ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 119ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 69ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+7.2), කොමර්ෂල් බැංකුව COMB (+5.78),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+5.3),  වැලිබල් වන් පීඑල්සී VONE (+4.72),  හේමාස් හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+4.5), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87), ඔල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.52), ෂෙව්රෝන් ලුබිරිකන්ට්ස් ලංකා පීඑල්සී LLUB (-0.99), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-0.93), ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ASCO (-0. 63)

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,453.87 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 27) දිනයට සාපේක්ෂව ඒකක 20.24 ක එනම් +0.83%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා නොවැ 27දා) වාර්තා කළ රුපියල් බිලියන 2.1ට සාපේක්ෂව 15%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.73ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 4.23%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 144.97ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 149.71 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 4.74කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.01ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 46.86කි. එසේම එක්ස්පෝ ශ්‍රී ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 13.95ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 649ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ආහාර, පානවර්ග හා දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 519ක සහ රුපියල් මිලියන 342ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 165