රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී හිමිකම් කොටස් නිකුතුව දෙසැ 08 සිට 16 දක්වා

රේනුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 05 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව සිදුකිරීමට සැලසුම් කළ හිමිකම් කොටස් නිකුතුව සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය ලැබී ඇතැයි පවසයි. ඒ අනුව ලබන දෙසැම්බර් 08 වැනිදා සිට 16 වැනිදා දක්වා මෙම නිකුතුව සිදු කරන බව එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි. සමාගමේ විශේෂිත මහා සභාරැස්වීම පසුගිය නොවැම්බර් 25 වැනිදා පැවැත් වී ඇත.

සිය සමාගම සතු ණය පියවීමටත්, සමාගමේ පරිපාලිත සමාගම් සහ උප පරිපාලිත සමාගම් තුළ ඉදිරි ආයෝජන සඳහා මුදල් රැස් කරගැනීමටත් මෙම නිකුතුව සිදු කරන බව සමාගම පසුගිය ඔක්තෝබර් 05 වැනිදා සඳහන් කර තිබුණි. ඒ අනුව මෙහිදී එම සමාගම සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් මිලියන 66ක් (66,775,969ක් – හැට හය මිලියන හත්ලක්ෂ හැත්තෑපන්දහස් නවසිය හැට නවයක්) සහ සාමාන්‍ය නිශ්ඡන්ද කොටස් මිලියන 9ක් (9,642,622ක් – නව මිලියන හයලක්ෂ හතලිස් දෙදහස් හයසිය විසි දෙකක්) නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට හිමිකම් නිකුතුවේදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද  හිමි කොටස් 4ක් සඳහා අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 3ක් බැගිනුත්, දැනට පවතින සෑම සාමාන්‍ය නිශ්-ඡන්ද කොටස් 4කටම අලුතින් සාමාන්‍ය නිශ්-ඡන්ද කොටස් 3 බැගිනුත් වන ලෙස මෙම කොටස් අනුපාතය සකස් කෙරී ඇත.

මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 14 බැගිනුත් සාමාන්‍ය නිශ්-ඡන්ද කොටසක් රුපියල් 10ක මුදලකටත් මිල කෙරී ඇත. ඒ අනුව මෙම වටිනාකම යටතේ ඡන්ද  හිමි කොටස් නිකුතුවෙන් රුපියල් මිලියන 934ක් (934,863,566ක්) මුදලක් රැස් කරගැනීමටත්, සාමාන්‍ය නිශ්-ඡන්ද කොටස් නිකුත් කිරීමෙන් රුපියල් මිලියන 96 ක් (96,426,220ක්) රැස් කරගැනීමත් අරමුණ වී තිබේ. ඒ අනුව රැස් කරගැනීමට බලාපොරොත්තු වන සමස්ත වටිනාකම රුපියල් මිලියන 1,030 කි.

කෙසේ වෙතත් දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සාම්ප්‍රදායික ක්‍රමයට සිය කොටස්හිමිකරුවන් වෙත මෙම හිමිකම් නිකුතුවට අදාළ ලිපි යැවීම අසීරු වී ඇති බවත් සමාගම  පවසයි. ඒ නිසා කොළඹ කොටස් හුවමාරුවේද උපදෙස් අනුව සමාගම මෙම හිමිකම් කොටස් මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලබන පසුගිය නොවැම්බර් 25 වැනිදා වනවිට කොටස් හිමිකරුවන් බවට පත්ව සිටින පිරිස් වෙත ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. එහිදී දැනට CDS ගිණුම්  හිමි කොටස් හිමිකරුවන්ට සමාගමේ වෙබ් අඩවිය වෙත හරහා මේ සඳහා වන ඉල්ලුම් පත්‍රය පුරවා ඉදිරිපත් කළ  හැකිය.

එසේම මෙම නිකුතුවේදී අමතර කොටස් සඳහා කැමැත්තක් දක්වන කො ටස් හිමිකරුවන් වෙත ඒ සඳහා අයැදුම් කිරීම සඳහාද සමාගම පහසුකම් සලසා තිබේ. එහිදී මෙම හිමිකම් නිකුතුවට අයැදුම් කිරීමට පෙර www.cse.lk සහ www.cds.lk හි ඇති ක්‍රමවේදය අනුගමනය කරන ලෙසද සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම හිමිකම් නිකුතුව මිලදී ගැනීම සඳහා බලාපෙරොත්තු වන 2020 නොවැම්බර් 25 වැනිදා වන විට මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා සුදුසුකම් ලබා ඇති කොටස් හිමිකරුවන් සහ සමාගම් (CDS ගිණුම් හිමි සහ CDS ගිණුම් නැති) වෙත ඒ සඳහා ඉල්ලුම් කිරිමට පෙර කොළඹ කොස් හුවමාරුවේ මෙන්ම CDS වෙබ් අඩවියේ ඇති ක්‍රියා පිළිවෙත අනුගමනය කරන ලෙසද සමාගම ඉල්ලා සිටියි.

එසේම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම නිකුතුවේ ලේඛකාධිකාරීවරුන් ලෙස කටයුතු කරන මධ්‍යම තැන්පතු පද්ධතිය (පෞද්) සමාගම දුරකතන අංක 0789044094, 0740772177, 0718712676 සහ 0725935301 හරහා හෝ registars@cse.lk ඉමේල් ලිපිනය හරහා හෝ සහායක් ලබා ගත හැකි බවද සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 384