හැටන් නැෂනල් බැංකුවෙන් රු.බිලියන 7ක ණයකර නිකුතු යෝජනාවක්

පසුගිය නොවැම්බර් 26 වැනිදා රැස් වුණු හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බාසෙල් III සම්මුතිය අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර නිකුතුවක් සිදු කිරීම සඳහා වන යෝජනාව වෙත අනුමැතිය ලබා දී ඇතැයි පවසයි.

ඒ අනුව මෙහිදී ඉහත සඳහන් ආකාරයට බාසෙල් III සම්මුතිය අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කරන බව හැටන් නැෂනල් බැංකුව සඳහන් කරයි.

වසර 10කදී නැවත මුදවා ගත හැකි ණයකර ලෙස නිකුත් කෙරන මෙම එක් ණයකරයක වටිනාකම රුපියල් 100 කි. ඒ අනුව නිකුත් කෙරෙන මෙම ණයකරයේ සමස් වටිනාකම රුපියල් බිලියන 5 ක් (5,000,000,000ක්) වෙයි. යම් ලෙසකින් මෙම ණයකර නිකුතුව සඳහා අධිඉල්ලුමක් පැවතිය හොත් තවත් අමතර ණයකර මිලියන 20ක් (20,000,000ක්)  නිකුත් කිරීමටත් බැංකුව කටයුතු යොදා සිටියි. එහිදීද එක් ණයකරයක් රුපියල් 100 බැගින් නිකුත් කෙරේ. ඒ අනුව සමස්ත ණයකර නිකුතුව හරහා රැස් කරගැනීමට සැලසුම් කර ඇති මුදල රුපියල් බිලියන 7 කි.

මෙහිදී අදාළ ණයකර නිකුතුව සඳහා වන නියාමන කටයුතු සිදු කිරීම මෙන්ම කොටස්හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවීමට නියමිතව ඇතැයි හැටන් නැෂනල් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ඉන් අනතුරුව ණයකර නිකුතුව සිදු කරන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.

Visits: 304