හයිඩ්‍රාමනී ඇගලුම් සමාගම රක්ෂණ තැරැව්කාර ව්‍යාපාරයටත් පිවිසෙයි

මෙරට සුප්‍රසිද්ධ ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරය Zenith Insurance Brokers නමින් සිය සමාගමට අනුබද්ධිතව රක්ෂණ තැරුව්කාර සමාගමක් පිහිටුවා ඇතැයි පවසයි.

මේ වසර ආරම්භයේදී එම Zenith Insurance Brokers සිය කටයුතු අරඹා ඇති අතර මේ වනවිට යළිත් එහි ප්‍රවර්ධන කටයුතු සිදු කරයි.

මෙහිදී එම සමාගම සිය සේවා සමාගම් අංශය සහ පුද්ගලික අංශය ලෙස කොටස් දෙකක් යටතේ ලබා දෙයි.

ඒ අතරින් සමාගම් අංශය සඳහා සේවා සැපයීමට දශක ගණනාවක් පුරා රක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිරිසක් දායකත්වය ලබා දෙන බවත් එකිනෙකට වෙනස් ව්‍යාපාර මුහුණ දෙන විවිධාකාර වූ අවදානම් සම්බන්ධයෙන් ඔවුන්ට දැනුමක් ඇති බවත් Zenith Insurance Brokers පවසයි. ඒ අනුව ව්‍යාපාරය කුමක් වුවත් එම ව්‍යාපාරය තවදුරටත් සුරක්ෂිතව පැවතීම සඳහා සිය විශේෂඥ කණ්ඩායම වඩාත් සුවිශේෂී රක්ෂණ නිෂ්පාදන කළඹ කුමක්ද යන්න ලබා දෙන බවද සඳහන් කරයි.

පුද්ගලික අංශය යටතේදී සිය විශේෂඥයන් වර්තමානයේදී මුහුණ දෙන අවදානම් මොනවාද යන්න පිළිබඳව හොඳ දැනුමකින් සිටින බවත්, අනාගතයේදී මුහුණ දෙන අවදානම් මොනවාද යන්න පිළිබඳව පූර්ව අපේක්ෂා සිදු කරන බවත් පවසයි.

ඒ අනුව ඒ සියල්ලටම ගැළපෙන පරිදි රක්ෂණ සැලසුම් ඉදිරිපත් කිරීමට එම කණ්ඩායම සමත් බවත් සමාගම සඳහන් කරයි. මෙහිදී නිවාස රක්ෂණ, සංචාරක රක්ෂණ, පුද්ගලික අනතුරු ආවරණය, මෝටර් රථ රක්ෂණ සහ තනි පුද්ගල ජීවිත රක්ෂණ යනාදී නිෂ්පාදන කළඹ ඒ හරහා ලබා දෙයි.

වසර 30ක ඉතිහාසයක් සහිත Zenith Insurance Brokers සමාගම මෙලෙස 1890 වසරේදී පිහිටවුණු වසර 129ක් පුරා මෙහෙයුම් සිදු කරන හයිද්‍රාමනී සමාගම සමගින් එකට එක්ව කටයුතු කරන බව පවසයි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන රක්ෂණ තැරැව්කාර සමාගම බවට පත් වීම සිය දැක්ම බවත් එම සමාගම සඳහන් කර සිටියි.

හයිඩ්‍රාමනී පෞද්ගලික සමාගම ඇගලුම් නිෂ්පාදනයට අමතරව තවත් ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් වෙතම සිය මෙහෙයුම් පුළුල් කර තිබේ. ඒ අනුව හයිඩ්‍රාමනී ඇපරල් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම, හයිඩ්‍රාමනී ගාමන්ට්ස් කටුනායක (පෞද්) සමාගම, හයිඩ්‍රාමනි මර්කරි ඇපරල් (පෞද්) සමාගම, හයිඩ්‍රාමනි ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම, හයිඩ්‍රාමනී ඉන්ටර්නැෂනල් එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම, හයිඩ්‍රාමනි ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම, හයිඩ්‍රාමනී ලෙෂර් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම, හයිඩ්‍රාමනි පවර් (පෞද්) සමාගම, හයිඩ්‍රාමනි ප්‍රොපර්ටීස් (පෞද්) සමාගම යනාදිය හයිඩ්‍රාමනි සන්නාමය සහිතව ක්‍රියාත්මක සමාගම් වෙයි.

Visits: 195