ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සාම්ප්‍රදායික කර්මාන්ත සහයෝගීතාවක්

සාම්ප්‍රදායික කර්මාන්ත සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව හා ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ සමුපකාර සඳහා වන අලෙවිකරණ සේවා නියෝජිතායතනය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡාවක් පැවැත් වූ බව ජකර්තා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව මෙහිදී ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි යශෝජා ගුණසේකර මහත්මිය ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා අලෙවිකරණ නියෝජ්‍ය අමාත්‍ය වික්ටෝරියා සිමානුංග්කලිත් මහත්මිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඉකුත් 12 වැනිදා මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.

මෙම රැස්වීමේ දී දෙරට අතර පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ප්‍රශංසාවට ලක් කෙරුණු බව විදේශ අමාත්‍යාංශය පවසයි. එසේම දෙරටේ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයිය හැකි වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරී තිබේ.

ගරු වික්ටෝරියා සිමානුංග්කලිට් මහත්මිය, ඉන්දුනීසියාවේ හා ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා දෙරටේ ප්‍රධාන නිලධාරීන් අතර වෙබ් ජාලයක් සංවිධානය කිරීමට කැමැත්ත පළ කර ඇත.

මෙම අන්තර් ක්‍රියා අතරතුර දී, තානාපතිනි ගුණසේකර මැතිනිය ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ උපාය මාර්ග සහ විශිෂ්ඨ පරිචයන් පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති අතර, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාවෙන් තාක්ෂණික සහාය ද ඉල්ලා තිබේ.

Visits: 66