ඉතියෝපියාවේ ගැටුම් සහිත ප්‍රදේශයේ ඇඟලුම් කම්හල්වල සේවය කළ ලාංකිකයන් 38ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අවදානමට ලක්ව සිටි එම ප්‍රදේශය ආශ්‍රිත ඇගලුම් කර්මාන්තශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉන් මුදවා ගැනීමට කටයුතු යෙදූ බව එරට අඩිඩාස් අබ්බාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත ප්‍රවාහනය කර තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නොබෝ දිනකින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවත් විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින සිට මෙලෙස ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Visits: 76