ලහිරුගේ takas.lk නලින්ගේ අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් වෙත අලෙවි කෙරේ

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන මෙරට ජනප්‍රිය වෙබ් අඩවියක් වන Takas.lk වෙබ් අඩවිය පසුගියදා අයිඩියල් සමූහ ව්‍යාපාරය අයත් නලින් වෙල්ගම‍ මහතාගේ අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් මිලදී ගන්නා ලද බව එම වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලහිරු පත්මලාල් මහතා නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අයිඩියල් සමූහය ඉ-වානිජ ව්‍යාපාරය වෙතත් පිවිසෙයි. විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසක්  හිමි අයිඩියල් සමූහ ව්‍යාපාරය සතුව මේ වනවිට මෝටර් රථ, සූර්ය බල විදුලිය, මූල්‍ය, මෝටර් රථ අමතර කොටස්, මෝටර් රථ අලුත්වැඩියාව, ලිහිසි තෙල් අලෙවිය ඇතුළු ක්ෂේත්‍ර රැසක පරිපාලිත සමාගම් 20කට ආසන්න ප්‍රමාණයක් පවතී.

මෙලෙස Takas.lk වෙබ් අඩවිය අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් වෙත අලෙවි කිරීමේ අවස්ථාව සඳහා Takas.lk හි සම නිර්මාතෘවරුන් වන ලහිරු පත්මලාල් සහ මුර්ටාසා මූසාජී මෙන්ම එහි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වන කාලිංග ඇතුලත්මුදලිද සහභාගි වී ඇත. එසේම අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් වෙනුවෙන් නලින් වෙල්ගම මහතා සහභාගි වී තිබේ.

Takas.lk වෙබ් අඩවිය මෙම තත්ත්වයට පත්වීම සඳහා සියලුම තරගකාරී තත්ත්වයන් වෙත මුහුණ දෙමින් පැමිණි බව ලහිරු සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කරයි.

එසේම Takas.lk අලෙවියෙන් අනතුරුව තමන් මුර්ටාසා මූසාජී සහ කාලිංග ඇතුලත්මුදලිද එක්ව TES නම් ව්‍යාපාර සහ ව්‍යාපාර අතර සබඳතාව ඇති කරන (B2B buiss) සමාගම යටතේ සම්පූර්ණයෙන්ම ස්වාධීනව කටයුතු  කරන බව ලහිරු පත්මලාල් සඳහන් කර තිබේ.

ඉලෙක්ට්‍රොනික වානිජ වෙළෙඳාම හා සම්බන්ධ සේවා ලබා දෙන සමාගමක් වන  TES මගින් ඇනවුම් කළමනාකරණය, සැපයුම් කළමනාකරණය, භාරගැනීම් කළමනාකරණය, භාරදීම් කළමනාකරණය, භාණ්ඩ ලේඛන කළමනාකරණය, ගෙවීම් කළමනාකරණය, පාරිභෝගික සබඳතා කළමනාකරණය, ගබඩා කළමනාකරණය සහ භාණ්ඩ තොරතුරු කළමනාකරණය යනාදිය සිදු කරන බවත් පවසයි.

පෙර ලිපිය-
අයිඩියල් සමූහය Takas.lk මිලදී ගනී?

Visits: 457