නව පොලිස්පතිවරයෙකු පත්වෙයි

මෙරට නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (නොවැම්බර් 27දා) දිනයේ පොලිස් මූලස්ථානයේදී වැඩ භාරගත්තේය. මීට පෙර ඒ මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.

සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයාද වෙයි. 1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි. මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

සිය වසර 33ක සේවා කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස වික්‍රමරත්න මහතා නම් දරා ඇතැයි පවසයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඒ මහතා පත් කෙරිණි.

පසුව අනිවාර්යය නිවාඩු යවා තිබූ එවකට පොලිස්පතිවරයා ලෙස සිටි පූජිත් ජයසුන්දර මහතා මේ වසරේ මාර්තු මාසයේදී එම ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමග පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා මෙලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කෙරී තිබේ.

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වා තිබේ.

Visits: 75