මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්මයි

ඊයේ (නොවැම්බර් 25) දිනයේදී රැස් වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බව  පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 4.50 සිට සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කෙරුණු බව මහ බැංකුව සඳහන් කරයි.

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය එළඹුණු බව මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 දෙවන රැල්ල මගින් ගෝලීය වර්ධන අපේක්ෂා අස්ථාවර කර ඇති නමුත්, කොවිඩ්-19 සඳහා සාර්ථක එන්නතක අපේක්ෂා ඉහළ යෑම එම වෙළෙඳපොළ අභිප්‍රායන් වැඩිදියුණු කිරීමට උපකාරි වී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

එසේම කොවිඩ්-19 දෙවැනි රැල්ල හේතුවෙන් ඇති වූ බාධාකාරී තත්ත්වයට පෙර 2020 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමක් දක්න ලැබුණු බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 165