දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් වෙළෙඳ ඇමති හමුවෙයි

දේශීයව නිපදවන සනීපාරක්ෂක තුවාවල පවත්නා මිළ ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බව එම නිෂ්පාදකයන් පවසයි. ඊයේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී එම නිෂ්පාදකයන් මේ බව සඳහන් කළ බව අමාත්‍යාංශය පවසා සිටියි.

මෙහිදී අමාත්‍යවරයා සිදු කරන ලද විමසීමකට පිළිතුරු ලබා දී ඇති එම නිෂ්පාදකයන්, පසුගිය රජය විසින් පනවන ලද 30% ක සනීපාරක්ෂක තුවා සඳහා වන බදු ප්‍රමාණය මෙවර අයවැය මඟින් 15%කින් අඩු කරන ලද බවත්, ඉතිරි ප්‍රමාණය 15%ක සෙස් බද්දක් ලෙස පැවතීම තුළ ඔවුන් විසින් වෙළෙඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවා වල පවත්නා මිළ ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බව පවසා තිබේ.

එසේම 2018 වසරේදී පනවා තිබූ සනීපාරක්ෂක තුවා කිලෝග්‍රෑමයක් සඳහා රු.300/= ක ආනයන බද්ද නැවත පනවන ලෙසද නිෂ්පාදකයන් මෙහිදී ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඊට ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍යවරයා ඉල්ලුමට සරිලන සැපයුම 100%ක්ම සිදු කිරීමට මෙම දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ සනීපාරක්ෂක තුවා ආනයනය සඳහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බවක් පැවසූ බවද අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් හා සන්නාම කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 88