Bolt ශ්‍රී ලංකාවට එයි

යුරෝපයේ ප්‍රමුඛතම ප්‍රවාහන සේවා සමාගමක් වන Bolt සමාගම නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුළ සිය සේවා ආරම්භ කර ඇතැයි ඊයේ දිනයේදී අනාවරණය කෙරිණි. එම සමාගම පළමු වතාවට දකුණු ආසියානු කලාපට වෙත සේවා සැපයීම යටතේ මෙලෙස ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කර තිබේ.

මෙහිදී ආරම්භය ලෙස රියදුරන් 2,000කට වැඩි සංඛ්‍යාවකගෙන් සමන්විතව සිය සේවාව කොළඹ නගරය තුළ ආරම්භ කෙරෙන බව Bolt සමාගම පවසයි. දැරිය හැකි මිල ගණන්  යටතේ ගමන් බිමන් යාම සහ සතුටුදායක රියදුරන් ඇති කිරීම යන තේමාව යටතේ එම සමාගම මෙහෙයුම් දියත් කරයි.

සමාගම පවසන ආකාරයට මෙහිදී උපරිමව මාස හයක කාලයක් යන තුරු සිය App වැඩසටහන භාවිතා කරන රියදුරන්ගෙන් කිසිදු කොමිස් මුදලක් අය නොකරයි. එසේම මගීන්ගෙන් සිදුකරන අය කිරීම්ද අනෙකුත් තරගකාරී සමාගම් හා සැසඳීමේදී 20%කට වඩා අඩු බවත් පවසයි.

ඒ අනුව සිය සමාගම ගොඩනැගීම මෙන්ම, මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සිදු කිරිම වෙත අවධානය යොමු කරන බවත්, විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට, මගීන්ට මෙන්ම රියදුරන් වෙතත් වඩා වැඩි ඉතිරියක් ලබා දීම Bolt හි අරමුණ බවත් පවසයි.

කොවිඩ්-19 වසංගතයේ වර්ධනයත් සමගින්ම Bolt  මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණීමට තෝරා ගෙන තිබේ. අද වනවිට Bolt හි මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ කොළඹ නගරය තුළ පමණකි. කොළඹ නගරය තුළ තවමත් ජනතාව වෙත ප්‍රවාහන සේවා සැලසිය හැකි වේදිකාවක අවශ්‍යතාව පවතින බව සමාගම තරයේ විශ්වාස කරන බවත් පවසයි. ඒ අනුව එම අවශ්‍යතාව සැපිරීම සිය මෙහෙයුමේ අදහස බවත් සමාගම සඳහන් කරයි.

පාරිභෝගිකයන් සඳහා Apple AppStore හෝ Google Play Store හරහා මෙම Bolt  ඇප් වැඩසටහන වඩාත් ආරක්ෂකාරීව ඩවුන්ලෝඩ් කරගත හැකිය. එසේම මෝටර් රථයක්  හිමි ඕනෑම අයෙකුට රියදුරෙකු ලෙස Bolt සමගින් එකතු වීමේ හැකියාව ඇත. ඒ අනුව https://partners.bolt.eu/driver-signup වෙත පිවිස ඉතාමත් පහසුවෙන් ඒ සඳහා සමාගම හා ලියාපදිංචි වීමේ  හැකියාව පවතී. අනතුරුව Apple AppStore හෝ Google Play Store හරහා Bolt Driver App වැඩසටහන ලබා ගත  හැකිය.

Bolt සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි මාර්කස් විලින්ග් සිය සහෝදරයා වන මාර්ටින් සමග එක්ව 2013 වසරේදී සිය මෙහෙයුම් අරඹා තිබේ. අද වනවිට Bolt වැඩසටහන ලොව රටවල් 35ක් පුරා නගර 150ක් තුළ ක්‍රියාත්මක වෙයි. එහිදී මිලියන 30කට අධික මගීන් සහ මිලියනයක් පමණ වන රියදුරන් ඊට සම්බන්ධව සිටියි.

මෙයට අමතරව Bolt Food ලෙස ක්‍රියාත්මක ආහාර ඩිලිවරි වැඩසටහන යුරෝපයේ සහ අප්‍රිකාවේ රාජ්‍යයන් 12ක් පුරා ක්‍රියාත්මක වෙයි. එසේම අද වනවිට ක්ෂුද්‍ර ප්‍රවාහන සේවා සපයමින් ඉ-ස්කූටර් සහ ඉලෙක්ට්‍රික් යතුරුපැදි යොදා ගනිමින් යුරෝපයේ නගර 45ක් පුරා  එම සමාගම සිය සේවා සපයයි.

ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතට අනුව Bolt සමාගම දෙවැනි වසරටත් යුරෝපයේ වඩාත් වේගයෙන්ම දියුණු වෙමින් පවතින තෙවැනි සමාගම ලෙස නම් කෙරී ඇත. එසේම පසුගියදා පැවැත්වුණු Europas Awards හිදී එම සමාගම යුරෝපයේ Hottest Unicorn සමාගම බවටද නම් කෙරී තිබේ.

Visits: 221