චීන ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර

දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය ඉකුත්දා එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසියේ දී මෙම එකඟතාව පළ වී තිබේ. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මහතා මෙම සැසියේ මුලසුන දරා ඇත.

ඉකුත් 23 දා පැවැති මෙම සැසිවාරයේදී දෙරෙටේ වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහාද එකඟතා පළ වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම පිණිස අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව මංපෙත් දෙපාර්ශ්වය විසින්ම මෙම සැසිවාරයේදී හඳුනා ගත් බව අමාත්‍යාංශය පවසයි.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දැනට පවත්නා බහුවිධ හවුල්කාරිත්වය පිළිබඳව තෘප්තිය පළ කරන අතරම, ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම, ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්න, පුද්ගලාන්තර හුවමාරුව සහ ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාවය පිළිබඳව දෙපාර්ශ්වයම මෙම සැසියේදී පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වුණු බව සඳහන් වෙයි.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අන්තර්ජාල රැස්වීමට එක්ව තිබේ.

Visits: 129